Wednesday, June 22, 2011

බදුල්ලට ගිය දුම්රිය සවාරිය..........

කලක පටන් සිත් තුළ නළියමින් පැවති කඳුකරය පැත්තේ රවුමක් ගැසීමේ ආශාව පසුගිය සතියේ මල් ඵල ගැන්විණි.මේ සටහන ඒ පිළිබඳවයි.
අප නව දෙනෙක් ගුරුදා උදේ පාන්දර පොඩිමැණිකේ දුම්රියෙන් බදුල්ල බලා පිටත් විය.නවය නපුරු වුවද අපට නම් එය වාසනාව ගෙනදුණි.:ඩි :ඩි .දුම්රිය සේවයේ වූ අකාර්යක්ෂමතා
නිසා අපට සුළු සුළු අකරතැබ්බයන්ට මුහුණ පෑමට සිදු විය.නමුත් සමස්තයක් ලෙස ගත විට එය විනෝද බර එකක් විය.

පාන්දර 4 සිට කොටුව දුම්රිය පොළේ රැඳී සිට 5ට පමණ පැමිණි දුම්රියට අපි ගොඩ වුනේ රිසිසේ යෑමට දෙවන පන්තියේ එකළඟ අසුන් කිහිපයක් අල්වා ගැනීමටය.එහෙත් මහත් අභාග්‍යයකි.දුම්රිය පරිපාලන නිලධාරීන්ගේ ස්ථානෝචිත ක්‍රියාකලාපයන් නිසා පොඩිමැණිකේ දුම්රියේ දෙවැනි පන්තියේ මැදිරි යොදා තිබුනේ 2කි.:ඩි :ඩි.දෙවැනි පන්තියේ ප්‍රවේශ පත්‍ර ලබා තිබු මගීන් මැදිරි 4 කට සෑහෙන පරිදි සිටියද කුමක් කරන්නද?ඔවුන් සියල්ලටම සිදු වුයේ වැඩිපුර මුදල් ගෙවා අවසානයේ 3 වෙනි පන්තියේ යාමටය.මෙය දුම්රිය සේවයේ ගුණාත්මක භාවයට එල්ලවූ තද බල පහරකි.අපටද කරන්නට දෙයක් නුහුයෙන් අපිද 3 වෙනි පන්තියේ මැදිරියකට සේන්දු වී හරිබරි ගැසී වාඩි වීමු.මෙම දුම්රියේ 3 වෙනි පන්තියේ මැදිරිද තිබුනේ 4 ක් හෝ 5ක් පමණි.:ඩි :ඩි.මෙය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොඩිම පොඩි මැණිකේ කෙනෙක් විය. :ඩි .දුම්රිය බලධාරීන් මිට වඩා වගකීමෙන් කටයුතු කරන්නේ නම් මැනවි යැයි අපට සිතුණි.මන්ද කොළඹ - බදුල්ල දුම්රිය ගමනට අවම වශයෙන් පැය 10 කට වඩා ගත වේ.මෙවැනි දිගු ගමනක යෙදෙන මගීන්ට සැප පහසුව,සනීපාරක්ෂාව අත්‍යවශ්‍යයි.එය ගෙවන ප්‍රවේශ පත්‍ර මිලට සරිලන පරිදි සැපයිය යුතුය.නමුත් මෙම දුම්රියේ පැවති ජල පහසුකම්,වැසිකිලි පහසුකම් දියුණු ජන කොට්ටාශයකට කිසිසේත් ගැලපෙන්නේ ද ප්‍රමාණවත් වන්නේ ද නැත.නවීන පහසුකම් වලින් යුතු තව මැදිරි කිහිපයක් වත් මෙම දුම්රියට එක්කරන්නේ නම් එය දුම්රිය සේවයේ උන්නතියට හේතුවනු නොඅනුමානයි.

කෙමෙන් කෙමෙන් දුම්රිය ඇදීයත්ම තැනිතලා මිටියාවත් අපට සමුදෙන්නට විය.ඒ වෙනුවට අපි පිළිගැනීමට අභිමුව පැමිණියේ අහස සිඹින ගිරි කඳුරුය.දේශගුණ විවිධත්වය මැනවින් කියාපාන ක්‍රාන්ති කලාපද පසුකරමින් ඇදුන දුම්රිය ගමන අහ්ලාදජනක විය.ගත දැවටෙන සීත සුළඟ,සෞම්‍ය වටපිටාව මනෝරම්‍ය විය.මේ සියල්ල පරදන අප සගයන්ගේ සුමියුරු ගී නාදය වඩාත් නන්දනීය විය.දුම්රිය හඬ පරදන කෞශාන්ගේ හා ගලේ අයියගේ බොංගෝ වාදනය දුම්රිය මැදිරියේ සිටි මගීහු එකම රිද්මයකට අනුගත කරවන ලදී.ගමන මද දුරක් යන විට මැදිරියේ උන් මගීහු සියල්ලෝම අපේ ගී රාවයට අත්වැල් අල්ලන්නට වුහ.ඒ අතර මැදිරියේ උන් ගිටාරයක්‌ අතින් ගත් අයියා කෙනෙකුද අපේ සින්දු වලින් ඔද වැඩි ගිටාරය වයමින් අප සමග එක් විය.එය පුරා පැය 3 ක් තිස්සේ නන්දනිය පැදුරු සාජ්ජයක සිරි ගති.සැබවින්ම එය ආනන්දජනක ඇරඹුමක් ම විය.

අපට දහවල් පාතරාසය මතක් වන්නටවුයේ කුසගිනි දැනෙන්නට වූ විටය.සවස 4 දක්වා ගමන දික්වන බැවින් දුම්රිය ආපනශාලාව අප පිහිටට සිටි එකම හිතවතා විය.අහෝ!!!ඛේදයකි.නැවත වරක් දුම්රිය පරිපාලනයේ අකාර්යක්ෂමතාවය මතුව එයි.මෙහි පැවති ආපනශාලාව දීර්ඝ ගමනකට කිසිසේත් උචිත එකක් නොවිය.එහි ආහාරපාන තිබුනේ සීමිත ප්‍රමාණයකි.ඒවා පිරිසිදු බවින් තොර මෙන්ම මිලෙන්ද අධික විය.මෙය මහත් ලජ්ජා සහගත සුරා කෑමකි.දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් සිටි මේ දුම්රියේ ,දුම්රිය බලධාරීන් ඔවුනට අවශ්‍ය අවම පහසුකම්වත් සලසා තිබුනේ නැත.ප්‍රවේශ පත් මුදල් වලට නිකුත් කරන විට අයකරගන්නා මුදලට සරිලන ලෙස පහසුකම් සැපයීමට දුම්රිය දෙපාර්තමේන්තුව බැඳී නොසිටින්නේද?රුහුණු කුමාරිය මෙන්ම පොඩි මැණිකේට ද හැඩ වැඩ දමා ඔසරියක් අන්දවා ගන්නේ නම් දුම්රිය දෙපාර්තමේන්තුවට ඉන් ඉමහත් ලාභයක් ලැබිය හැකි වනු නොඅනුමානය.මෙවැනි අඩුපාඩු මගහරවා ගැනීම රටේ සංවර්ධනයට ද එක් පසෙකින් දායක වේ.

මෙසේ පුරා පැය 10 කට අධික කාලයක් සොබාසිරි විඳිමින් යෙදී දුම්රිය ගමන සවස 4.30 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් අවසන් විය.

(දුන්හිඳට ගිය සවාරිය පිළිබඳව ඊළඟ ලිපියෙන් හමුවෙමු..........)

Friday, June 10, 2011

කෙටි කතාව කියන්නේ මොකක්ද?

අපට ලැබුණ දිගු නිවාඩුව නිසා කාලය ගෙවා දැමීමේ අදහසින් පතපොත කියවීමටතිබුන නැඹුරුව වැඩිවීම මේ ලිපියේ නිමිත්ත විය.ලඟදි කියවන්නට ලැබුණ පෙර අපර දෙදිග කෙටි කතා සමුහයක් නිසා කෙටිකතාව යනු කුමක්දැයි විමසා බැලීමට සිත් විය.මොකද අද බහුතරයක් පිරිස පොත් කියවනුයේ කියවන්නම් වාලේය.කෙටිකතාව සහ නවකතාව අතර වෙනස ,ඒවායේ ව්‍යුහය ගැන නිසි අවබෝදයක් නොමැත.එසේනම් කෙටිකතාවක් කියන්නේ මොකක්දැයි කියා අපි විමසා බලමු.
ශ්‍රී ලාංකික අපිට නම් කෙටිකතාව කියූ සැණින් ඊළඟට සිතට නැගෙන හුරුපුරුදු නම් කිහිපයක් නම් මාර්ටින් වික්‍රමසිංහ,ජි.බි.සේනානායක,කේ.ජයතිලක,ගුණදාස අමරසේකර,මඩවල.s.රත්නායක,ඩබ්ලිව්.ඒ.සිල්වා ය.මන්ද ඔවුන්ගේ නිර්මාණ එතරම්ම ලාංකික සාහිත්‍යයට සමීප නිසාවෙනි.වික්‍රමසිංහයන්ගේ ගැහැණිය(1924),මගුල් කෑම හා වෙනත් චරිතාදර්ශ කතා,පවුකාරයාට ගල්ගැසිම(1936),බිල්ල සහ අපුරු මුහුණ(1945),මගේ කතාව,වහල්ලු.ජි.බී.සේනානායකයන්ගේ දුප්පතුන් නැති ලෝකය(1945),පළිගැනීම(1946),මිතුරිය(1961),ගමන(1983)ද කේ.ඩි.පි.වික්‍රමසිංහගේ විවාහය,රසවිඳීම,පණිවිඩය,තරු එලිය ද ඩබ්ලිව්.ඒ.සිල්වාගේ දෙයියන්ගේ රටේ සහ තවත් කතා,ජෙනීගේ කතාව හා තවත් කෙටිකතා,ලේන්සුව හා තවත් කතා ශ්‍රී ලාංකික කෙටි කතා සඳහා උදාහරණ වේ.
එලෙසම නුතන විශ්ව කෙටිකතාවේ පුරෝගාමීන ලෙස 19 වන සියවසේ එඩ්ගා ඇලන් පෝ (1809-1849),රුසියාවේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින්(1991-1837)සඳහන් කල හැකිය.ඉන්පසු එළඹෙනුයේ රුසියානු නව සම්ප්‍රදායේ පුරෝගාමිය වූ නිකොලයි ගොගොල්ගේ සමයයි.දොස්තෝවොස්කි නම් රුසියානු මහා නවකතා කරු "අපි සියල්ලෝම ගොගොල්ගේ හිම කබායෙන් උපන්නෙමු"යයි කීම තුලින් ගොගොල්ගේ මැදිහත්වීමේ තරම අපට ගම්‍ය වේ.ඇමරිකාවේ වොෂින්ටන් අර්වින්,නැතනියෙල් හෝතොන්,හර්මන් මෙල්විල් ආරම්භයේදී කෙටි කතාවේ වර්දනයට දායක වුවෝය.ජර්මනියේ ජොහාන් වොල්ෆ්ගන්ග් වොන් ගතේ,ප්‍රංශයේ මාගරිට් කුමරිය,පීරු රටේ රිච්දෝ පැල්මා,ගෝතමාලාවේ රැපායෙල් කෙටිකතා කලාව තුල පතාක යෝදයන් වුහ.ගී ද මෝපසාන්ගේ මාලය(The Necklace),ගොවිපලේ දැරියකගේ කතාව (The Story of a farm),ලණු කැබැල්ල(The Piece of String) අපට හුරුපුරුදු උසස් බටහිර කෙටිකතා ය.තවද ගොගොල්ගේ හිම කබාය(Overcoat),පිස්සෙකුගේ දිනපොත(The diary of a madman),චෙකොෆ්ගේ හයේ වාට්ටුව(Ward no 6),ගුසෙෆ්(Ggoussiev) පරසිඳු කෙටි කතාවන්ය.
කෙටිකතා කරුවන් හා කෙටිකතා පිලිබඳ දීර්ඝ විස්තර අනවශ්‍ය යැයි සිතමු.අපි පසු දිනක කෙටිකතාවේ ඉතිහාසය හා විකාශනය පිළිබඳව වෙනත් ලිපියකින් විමසා බලමු.මෙලෙස පෙරාපර දෙදිග කෙටිකතා කරුවන් හා ඔවුන්ගේ නිර්මාණ පිලිබඳ මතක කර දෙන ලද්දේ ඒවා රස විද ඇත්නම් නැවත ආවර්ජනය වීම උදෙසාය.

කෙටි කතාව යන නමෙහි "කෙටි" යන පදයෙන්ම කෙටිබව ගම්‍ය වේ.එනම් කෙටි කතාවක තිබිය යුතු ප්‍රධාන ලක්ෂණය වන්නේ කෙටි බවයි.කෙටි වූ කතාව කෙටි කතාව ලෙස නිර්වචනය කල හැකිය.කතාවක් කෙටි වූ පමණින්ම එය කෙටි කතාවක් වන්නේ නැත.මන්ද කෙටි බව යන්න කෙටි කතාවක් වීමට ප්‍රමාණවත් මිනුම් දණ්ඩක් නොවන හෙයිනි.කෙටි කතාවකට ඒකීය ධාරාණාවක් නැති නම් කේවල ඵලාප්තියක් තිබිය යුතුය.එනම් කෙටි කතාව ප්‍රධාන වශයෙන් කිසියම් ප්‍රස්තුත කරුණක් මුලික කර ලියවුණු ,වැල්වටාරම් වලින් බැහැර වුණු ඒකීය භාවයෙන් යුත් කතා විශේෂයක් බව කිව හැකිය.මෙය තව දුරටත් විස්තර කරන්නේ නම් ඒකීය ධාරණාවෙන් යුත් කෙටි ගද්‍ය අඛ්‍යානය කෙටිකතාවයි.එක් ප්‍රබල චරිතාන්ශුවක් හෝ ප්‍රබල සිද්ධියක් හෝ අවධානයට ගනිමින් ඒවාට රාශිභූත වූ ඒකීයත්වයක් ලෙස ඒකීය ධාරණාව හැඳින්විය හැකිය. ඒකීය ධාරණාව(Unity of Impression) කෙටි කතාවක තිබිය යුතු මුලික අංගයන් ලෙස බහුතර විචාරකයන් පෙන්වා තිබේ.
කෙටි කතාවක් යන්න කුමක්දැයි තේරුම ගැනීමට අපිට "ජෝසෆ් බර්ග් එසන්වින්ගේ" අර්ථ දැක්වීම වැදගත්ය.ඔහුට අනුව කෙටි කතාවක මුලික ලක්ෂණ 7 කි.
  1. සංග්‍රහ වන සිද්ධි අතුරෙන් ඒ හැමෙකක්ම අභිබවා යන ප්‍රබල සිද්ධියක් තිබීම.
  2. ඉස්මතුවී තිබෙන එක් ප්‍රධාන චරිතයක් සිටීම.
  3. සත්‍ය කතාවක් නොව කල්පිත කතාවක් වීම.
  4. කතා වින්‍යාසයක් තිබීම.
  5. විස්තීරණත්වයෙන් තොර වීම.
  6. සංවිධානාත්මක වීම.
  7. ඒකීය ධාරණාවක් තිබීම.
ඔහුගේ නිර්වචනය වන්නේ,
"කෙටි කතාව වූ කලි අනෙක් සියලු සිද්ධීන් අභිබවා සිටින එක් ප්‍රබල සිද්ධියක් ඉස්මතු වී පෙනෙන එක් ප්‍රධාන චරිතයක් අනාවරණය කරන්නා වුද,මනා අවයව සංවිධානයක් ඇත්තා වුද,ඒකීය ධාරණාවකින් යුක්තවුද කෙටි කල්පිත ආඛ්‍යානයකි"

මෙහිදී මුලික වන්නේ සියල්ල අභිබවයන සේ එක් ප්‍රබල සිද්ධියක් එනම් ඒකීය ධාරණාවක් පැවතීමයි.යථාර්තයෙන් උකහාගත් යම් ප්‍රමාණයක් සහ සිතුවිලි තුල ගොනු වූ යම් දෙයක් සංයෝග කර වඩා සාර්ථක කල්පිතයක් බිහි කරගත හැකිය.එය පරිකල්පනයකි.තවද ප්‍රබල කහ වින්‍යාසයක් තිබිය යුතුය.පාටක ආකර්ෂණය කෙරෙහි කතා වින්‍යාසය තදින්ම බලපායි.එලෙසම කෙටි කතාව අනවශ්‍ය ලෙස දික් නොවිය යුතුය.එනම් විස්තීරණත්වයෙන් තොර විය යුතුය.කෙටි කතාව සංක්ෂිප්ත විය යුතුය.අනවශ්‍ය විස්තර,සිද්ධීන්ගෙන් තොර විය යුතුය.කාලය හා අවකාශයට අනුව ගැලප ගැනීම සහ කතා අවයව යථා පරිදි ගැලප ගැනීම සංවිධානාත්මක වීම යන්නෙන් අදහස් කෙරෙයි.

කෙටි කතාවක් රසවිඳීම,ලිවිම,හඳුනා ගැනීම හෝ විචාරයේදීත් එහි දෘෂ්ටි කෝණය ප්‍රධාන මෙහෙවරක් ඉටු කරයි.දෘෂ්ටි කෝණය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය.
  1. උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය.
  2. ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය.
උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් කතාව ඉදිරිපත් කරනුයේ "මම" විසිණි.අප කවුරුත් හොඳින් දන්නා උදාහරණයක්‌ නම් ජි.බී.සේනානායකයන්ගේ "නිධානය" කෙටි කතාවයි.මෙහි බිරිඳ සහ මම ප්‍රධාන චරිත වේ.මෙහි මුළු කතාවම කියන ප්‍රධාන චරිතය "මම" වේ.එමගින් ඔහුගේ සිතට එන කරුණු හා හැඟීම වඩාත් උළුප්පා දැක්වීමට හැකිවී තිබේ.
ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය යනු ඔහු හෝ කෙනෙක් විසින් කතාව ඉදිරිපත් කිරීමයි.ගුණදාස අමරසේකරයන්ගේ රතුරෝස මල කෙටිකතා පොතේ "බයිසිකලය" ඊට කදිම උදාහරණයකි.එහි කතානායකයා සියදොරිස් ය.ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයට වඩා පුළුල් අවස්ථා නිරුපන දැක්වීමට යොදා ගනී.ලේඛකයාගේ අධිකාරිත්වයෙන් තොරව කතාව ඉදිරිපත් කිරීමක් ලෙසද සැලකිය හැකිය.මීට අමතරව සර්වවේදී දෘෂ්ටි කෝණය හා නාට්‍යමය දෘෂ්ටි කෝණය යනුවෙන් තවත් දෙවර්ගයක් ඇත.දැන් දෘෂ්ටි කෝණය යනු කුමක්දැයි පැහැදිලි යැයි සිතමු.ඇත්තෙන්ම දෘෂ්ටි කෝණය (The point of View)යනු ලේඛකයා කතාව පාටකයා හමුවට ගෙන එන්නේ කා ලවා දැයි යන්න වේ.මහාචාර්ය විමල් දිසානායකයන්ට අනුව එය "සිය අත්දැකීම් නිරුපණය කිරීම පිණිස රචකයා විසින් තොර ගනු ලැබ ඇති මාර්ගය"වේ.

කෙටිකතාවක භාෂාව පරිහරණයද වැදගත් තැනක ගනී.රචකයා තම අත්දැකීම් කියවන්නාට තේරුම ගැනීමට නම් විධිමත් භාෂාවක් යොදාගත යුතුය.එහිදී ව්‍යාකරණ මැනවින් රැකීම පමණක් නොව එහි භාවාත්මක බව ගැනද සැලකිලිමත් විය යුතුය.කතාව තුල ඇති ජීව ගුණය පවත්වාගෙන යාමට හා පරිශීලකයාට එය ඒත්තු ගැන්වීමට ඒ ඒ චරිතයට අනුව බස හැසිර වීම,හාස්‍ය රසය,උත්ප්‍රාසය දනවන උපමා රුපකාර්ථ යොදමින් කතාකරණය කල යුතුය.

කෙටිකතාව කියවා හමාර කර මෙම කරුණු ගැනද අවධානය යොමු කිරීමෙන් එම කෙටි කතාව පිළිබඳ අපට හොඳ අදහසක් ලබා ගත හැකිය.තවත් ලිපියකින් හමුවෙමු............

(ලිපිය පිලිබඳ ඔබේ අදහස් ලබා දෙන්නේ නම් ස්තුතිවන්ත වෙමි. )

Tuesday, June 7, 2011

"ස" මිහිර වින්දෙමු.......


"ස" ප්‍රසංගය කියූ සැනින් ඔබ අප කාගේත් මතකයට පැමිණෙන්නේ ශ්‍රී ලාංකීය සුභාවිත ගීත කළාවට වින්දනීය මෙහෙවරක් ඉටුකළ වික්ටර් රත්නායක නම් වූ ඒ සොඳුරු ගාන්ධර්වයාගේ නාමයයි.මෙය ඔහුගේ ඒකපුද්ගල ප්‍රසංග මාලාවයි.මෙසේ වික්ටර් රත්නායකයන් හා ස ප්‍රසංගය ගැන සටහනක් තැබීමට සිතුනේ පසුගිය ඉරුදින ජිවිතයේ පළමු වතාවට මටද "ස" මිහිර විඳගැනීමට අවස්ථාවක් ලද හෙයිනි.
"ස" ප්‍රසංගය මේ වනවිට මැදි පසු කලද තවමත් රස නොනැසී ගලා බසින රස ගඟුලකි.පළමු වැනි "ස" ප්‍රසංගය අරඹන ලද්දේ මිට 38 වසරකට ඉහතදීය.ඒ 1973 ජුලි මස 20 වෙනිදා ලුම්බිණි රඟහලේදීය.මේ එක් අකුරේ ප්‍රසංගයට වික්ටර් රත්නායකයන්ගේ හඬට වශී වූ උන්මදනිය ආනන්දයෙන් වෙළුන රසික සමුහයක් රෝද බදින්නට විය.මෙය වැඩිම වාර ගණනක් පැවැත්වුන ඒක පුද්ගල ප්‍රසන්ගයද වන්නේය.මේ ප්‍රසංග මාලාව "ස" යනුවෙන් නම් කරන ලද්දේ චින්තන ජයසේන විසිනි.සැබවින්ම ඔහු සිතු පරිදි සප්තස්වරයේ මුල් ස්වරය වාසනාව ගෙන දෙන්නට විය. මන්ද තවමත් "ස" ප්‍රසංග වාර 1425 ක් පවත්වමින් අඛණ්ඩව තම ගමනේ යෙදෙයි.
"ස" ප්‍රසංගයේ ඉතිහාසය හරිම රසවත්ය.විටෙක එය උන්මාදයක් බවට පත වී ඇත.එයට සාක්ෂි සිළුමිණ පත්‍රයේ මෙම ලිපිය සපයයි.
පුරා හොරා 3ක් තිස්සේ ඔහුගේ ගීත සමුච්චයෙන් අත්විඳි මිහිර මෙතෙකැයි කියා නිම කල නොහැක.ඇත්තෙන්ම එය සුන්දර ,භාවාත්මක අත්දැකීමක් ම විය.වරෙක ඔහුහේ ආමන්ත්‍රණය ප්‍රේමාන්විත විය,උපදෙශාත්මක විය,තවත් වරෙක විරහෙන් ඔද වැඩුණු ශෝකී ප්‍රේමවන්තයෙකුගේ බඳු විය.තුන් කල්හිම ඒක ලෙස පවතින ඔහුගේ ගීත සමුදාය විඳින්නා තුළ සංකල්ප රුප මවමින් සිත සනහාලන ගුණයකින් යුක්ත විය.
තොටුපොළ අයිනේ....,හොඵලු වනපෙත ඇත්තෙන්ම මහද කම්පිත කලා කිවහොත් ම නිවැරදියි.මිනිස් හදවත සන්තානයේ පවතින සියලුම මානුෂික හැඟීම ඔහු සිය ගීත තුලින් මෘදු ලෙස ස්පර්ශ කරමින් අපද එහි කොටස් කරුවෙක් බවට පත්කර ගැනීම සුවිශේෂි වන්නේය.බහුතර ගීත සමුදායක් ප්‍රේමකිර්තිද අල්විස් ගේය පද රචකයාගේ පන්හිඳින් බිහි වී තිබීමද තවත් සුවිශේෂිත්වයක් වන්නේය.සිංහල ගීත සම්ප්‍රදායට නව ආරක් ගෙන දුන් රත්නායකයන්ගේ මේ තනි අකුරේ ප්‍රසංගය එතරම්ම මිහිරි විය.
ලාංකීය රසික සිත් සනහාලමින් තවත් චිරාත් කාලයක් ඔහුගේ ගීත මාධුර්යය සප්තස්වරය හා මුසු කරන්නට අපි වික්ටර් රත්නායක නම් වූ ඒ සොඳුරු කලාකරුවානන්ට දීඝායු පතමු.
වික්ටර් රත්නායකයන්ගේ ගීත මෙතනින් අසන්න.........