Wednesday, July 6, 2011

අඩ සඳ හා අටවක ලදිමි................


අත්තම්මාගෙන් ඇසු රසකතා තුලින් මේ කියන්න සුදානම් වෙන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ කුමාර අවධියෙන් සිදුවුන අප්‍රකට රසවත් සිදුවීම් ටිකකි.සියල්ලටම කළින් කවුද මේ තොටගමුවේ රාහුල හාමුදුරුවෝ කියන්නේ කියල දැනගෙන හිටියොත් හොඳයි නේද?

තොටගමුවේ රාහුල හාමුදුරුවෝ කියන්නේ කෝට්ටේ යුගයේ ලංකාවේ වැඩවාසය කල අතිදක්ෂ යතිවරයාණන් වහන්සේනමක් වන බව අප කවුරුත් දන්නා කරුණකි.උන්වහන්සේ ගිහි කල හැඳින්වුයේ දෙමටානේ ජයබාහු කුමාරයා නමින්ය.වික්‍රමබාහු ඇපාණෝගේත් කීරවැල්ලේ බිසවගේත් එකම පුතුය.කුමාරයා කුමාර සංධියේ පටන්ම ඉගෙනුමට ලැදි විය.වයස 10-12 වෙනකොටම අභිධර්ම පිටකයේ අඩක්ද,සියබස්ලකර,කාව්‍යා දර්ශකය මුළුමනින්ම ද කටපාඩම් විය.නගන තර්ක විතර්කවල ද කෙළවරක් නොමැත.මුන්වහන්සේගේ කේන්ද්‍රය ද ප්‍රබල විය.එහි මහණ වුවත් රජකම් කරන බව සඳහන් වුවාලු.පසුව එය සත්‍ය විය.ඒ පිළිබඳව ද රසකතා අහුරකි :ඩී. අපි පසුව හිමින් සීරුවේ ඒවා රසවිඳිමු :ඩී.කුඩාකලම කීරවැල්ලේ බිසව මියයැමෙන් ද වික්‍රමබාහු ඇපාණෝ කලකිරී මහණ වීමෙන්ද තනි වූ දෙමටානේ කුමරු vi පරාක්‍රමබාහු රජුගේ පුත් තනතුරෙහිලා වැඩෙන්නට විය.කීරවැල්ලේ කුමරිය රජ බිසවගේ අක්කණ්ඩිය වීමද රජුට ගැහැණු දරුවන් පමණක් සිටීමද මෙයට තවත් හේතුවක් විය.දැන් දෙමටානේ කුමාරයා ගැන ඇති පදම් දැනගත්ත බැවින් අපි කතාවට හැරෙමු.

එදා පොහෝ දිනකි.රාජකීයයන්ගේ සිරිත පෝ දිනට උදෙන්ම දළදා සමිඳු වැඳ පුදා ගැනීමයි.එදිනත් සුපුරුදු පරිදි රජවාසල ඇත්තෝ දළදා සමිඳු වැඳ පුදා එන අතරමග දෙමටානේ කුමාරයා සුළු මවගෙන් අවසර ගෙන තමන් පෙ‍ර දා හදාළ පොතක ඉතිරිය කියවීමට විදාගම මෛත්‍රී හිමියන්ගේ ආරාමයේ රැඳුනි.

බැහැර පන්සලක ඇබිත්ත කොලුවෙක් විදාගම හාමුදුරුවන්ට දාන උපකරණ භාර දීමට පැමිණෙන්නේ ඔය අතරදීය :).හිමියන් නැති බව දැන ,ගෙන ආ දේවල් කනප්පුව මත තබා පුස්කොළ කැබැල්ලක් කුමාරයා අත තැබීය.එහි ලියා තිබුණේ......

"පුරසඳ සහ දසවක එවමි ,
පිළිගනු මැනවි. " යනුවෙනි.

ඇබිත්ත කොලුවාට මදක් රැඳෙන්නට උපදෙස් දී කුමාරයා ගෙනා දේවල් පිරික්සන්නට විය.කෙසෙල් ගෙඩි 8ක ඇවරියකුත් මී කිරි හට්ටියකින් අඩකුත් එහි විය.මදක් කල්පනා කොට කුමරු මදහසක් පා වීදාගම නා හිමියන් වැඩමකරන තෙක් නොසිට කොලුවාට පුස්කොළ කැබැල්ලක යමක් ලියා දී ඇබිත්ත කොලුවා පිටත්කර තමන් මාලිගාවට ගියේය.එහි ලියා තිබුණේ,

"අඩ සඳ හා අටවක ලැබිණි ,
පින් දෙමින් භාර ගතිමි." යනුවෙනි.

එදින හවස් වරුවේ වීදාගම හිමියන් විවේක සුවයෙන් පසුවෙද්දී උන්වහන්සේ වෙත අඬා ගෙනා වැඳ වැටෙමින් පැමිණෙන කොලුවෙකි.විදාගම හිමියන්ට ගෙනා ආ කිරිහට්ටියකින් භාගයකුත් කෙසෙල් ගෙඩි 10න් 2කුත් මගදී හොරා කෑමට සමාවදෙන මෙන් මරලතෝනි ගසමින් අඬයි.වීදාගම හිමියන්ට මෙය මහත් ප්‍රේහෙලිකාවකි .
"තෝ මගදී හොරා කෑ බව ලොකු හාමුදුරුවෝ දන්නේ කොහොමද ?" හිමි ඇසුවේ ය.

"මම මේවා ගෙනෙද්දී මෙතන හිටි කුමාරයට ඔන්න ඔය කනප්පුව උඩ තියන ලොකු හාමුදුරුවෝ දුන්න පුස්කොළ කැබැල්ල දුන්න.එක කියවල කුමාරයා මට මෙන්න මේ පුස්කොළ කැබැල්ල දුන්න ලොකු හා මුදුරුවන්ට දෙන්න කියල.මම එක ගෙනිහින් ලොකු හාමුදුරුවන්ට දුන්න.ඔන්න ඔච්චරයි හාමුදුරුවනේ සිද්ද උනේ.එක දැකපු ලොකු හාමුදුරුවෝ මට නොසහෙන්න තලලා ගිහින් වීදාගම හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලගෙන වර කිව්වා."යනුවෙන් ඇබිත්තයා පැවසුවේ ය.

පුස්කොළ දෙකම ගෙන බැලු වීදාගම හිමියන්ට කාරණය වැටහී මුවට සිනහවක් නැගිණි.කුමරුගේ තැනට සුදුසු නුවණ හා බුද්ධි මහිමය ගැන උන්වහන්සේ සතුටට පත්විය.(පුස්කොළ 2හි තිබ්බ දේ ඔයගොල්ලොන්ටත් වැටහෙන්න ඇතැයි සිතමි ;) :ඩී .)

අපි කවුරුත් පොඩි කාලේ අහපු කවියක් තමයි මේ,

" මා වැනි බිළින් දා
වර වර ළඟට කැන් දා
දුක් සැප කුමන් දා
අසන නිරීඳෝ වෙන කොයින් දා ?"

මේක කිව්වේ කවුද කියල දන්නව ද ?ඒක කිව්වෙත් දෙමටානේ කුමාරයම තමයි.ජයබාහු කුමාරයා ළදරු වියේ සිටියදී දෙමටානට ගිය පරාක්‍රමබාහු රජතුමා කීරවැල්ලේ කුමරිය හමුවී අසල සිටි කුමාරයාගෙන් ද සුවදුක් විමසා ඇත.කුමාරයාගේ පිළිතුර වූ කදිම සිව්පදය තමයි ඒ.....:ඩී

ජයබාහු කුමාරයා ගැන තවත් රසකතා ගොන්නකි.ඒවා රස විඳින්න ඉදිරි ලිපියකින් හමුවෙමු.


(කතාව ගැන ඔබේ අදහස් පහතින් සටහන් කරන්නේ නම් ස්තුතිවන්ත වෙමි.)

Sunday, July 3, 2011

ජන සාහිත්‍යයේ අප නොදුටු ඇතුළාන්තය..................


ලාංකික අපට නම් ජන සාහිත්‍යය,ජන කතාව පුංචි සංධියේ පටන්ම සමීප වන්නකි.අත්තම්මාගේ උකුළේ ඉඳගෙන තාලෙට පැද්දෙමින් "අන්දරේ සීනි කෑ හැටි,වැල කෑ පබිලා,දුටුගැමුණු කුමාරයා යුද්ධ කල හැටි,ගෝඨයිම්බර මහසෝන් සටන,නීල මහා යෝධයා වැලි මිරිකා වතුර ගත් හැටි" යනාදී කතා ඇසු හැටි තාමත් මතකය.ඒ අප කුඩා කාලයේ සිටම ජනකතාවේ මිහිර විඳි අයුරු ය.වීරයන්ගෙන්ද,දුෂ්ටයන්ගෙන්ද,ශාන්තුවරයන්ගෙන්ද විටින් විට පොහොසත් වූ ජන සාහිත්‍යය සමාජයට සදුපදේශ ලබා දෙන ප්‍රධාන මාධ්‍යයක් විය.මෙම ජනකතා ඉදිරි පරම්පරවන් සඳහා දායාද කිරීමෙහිලා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලද්දේ පවුල් වල සිටින වයසින් මුහුකුරා ගොස් සිටි සාමාජිකයන් වන අත්තම්මා සහ සියා ය.බහුතරයක් ජනකතා හුදු අතිශයෝක්තියක් ම පමණකැයි සිතා බොහෝ පිරිස් ඒවා අවඥාවෙන් බැහැර කරන ලදී.එහෙත් කුඩා අපට නම් ඒවා වින්දනීය ලෝකම විය.එළාර දුටුගැමුණු සටන,උන්මාද චිත්‍රාවන්ගේ රුපශ්‍රියේ විභූතිය සිත්හි මැවෙන්නට විය.සිගිරිය වූ කලී දැන් නටබුන් ගොඩක් පමණක් වුවද කුඩා කල මට එය සව්සිරියෙන් සපිරි රාජධානියක් විය.රජ මාලිගයේ මහේශාක්‍ය බව,සිංහ සෝපානයේ ඔබමොබ මනැසින් දිව ගිය අයුරු,කුට මස්තකයෙහි පොකුණුවලින් මනැසින් දියබුං ගසා නාපු හැටි ,රාවණා රජුගේ දඬුමොනරෙන් රවුමක් ගියපු හැටි ජනකතාව පුංචි අපට කොතරම් සමීප වුවාදැයි මොනවට පැහැදිලි කරත්ද?එය එතරම්ම රසවාහිනියක් විය.අපේකම,අපේ උරුමය සහ සදෙව්ලොව අපාය පිළිබඳ හැඟීම් කුඩාකල සිටම අප පවින් වලකා ජාතිමාමක අදහස්වලින් පෝෂණය කරන්නට විය.වර්තමානයේ සිට එකළ දෙස හැරී බලනා විට අපේ ජිවිත ජනකතා කරුවා විසින් නොදැනෙන සත්‍යයකට ඉබේටම තල්ලු කොට ඇති බවක් හැඟී යයි.එය එතරම්ම ප්‍රබල මාධ්‍යයක් විය.

මා දන්නා පරිදි ලොව විශාලතම සුරංගනා කතා සාහිත්‍යය ඇත්තේ රුසියාවේ ය.ලස්සන වසිලිස්සා ,බබායිගා යකින්න,ඉවාන් කුමාරයා ලාංකික අපටද සමීප ය.මේ මහා සුරංගනා කතා සම්ප්‍රදාය තුල ඔවුන් කරන ලද්දේ රුසියන් ළදරුවා කුඩා කල පටන්ම අරුම පුදුම දේ කරන,පියාඹන තනියම සත්සමුදුරු තරණය කරන මිනිස්සු ,අරුම පුදුම යන්ත්‍රසුත්‍ර වෙත සමීප කරවීමයි.මේ පිළිබඳව සිතන්නන නැඹුරු කරවීමයි.මේ තුලින් ළමයාගේ නිර්මාණශිලිත්වය,උසස් පරිකල්පන හැකියාව ඉබේම දියුණුවන්නට ඉඩහරින ලදී.එහි ප්‍රතිපලයක් ලෙස රුසියානුවෝ පසුකලෙක නව තාක්ෂණය ඇති නවීන යන්ත්‍රසුත්‍ර ලොවට දායාද කල පුරෝගාමීන් විය.අපේ ජන සාහිත්‍යයෙන්ද මේ සා විශාල සංස්කෘතික සේවයක් අප ජන සමාජයට අතීතයේ සිටම සිදුකර ඇත.පව පින වෙන්කරදී යහපත් ජිවන රටාවක් යනු කුමක්ද වෙද හෙද කම්ද කවියෙන් හා කතානුසාරයෙන් සමාජගත කර ඇත.

ජනකතා සාහිත්‍යය මුඛ පරම්පරාගතව පැමිණියද කර්තෘ අඥාත වුවද එය ලිඛිත සාහිත්‍ය සම්ප්‍රදායක් තරමටම එය ප්‍රබල වන්නේ ය."මිනිස් සිතෙහි ස්වරුපය නිරුපණය කිරීමෙහිදී ජනකතාව තරම් ප්‍රබල සාහිත්‍ය මාධ්‍යයක් මෙතෙක් ලොව පහළව නැත " යන්න ජන‌‍ශ්‍රැති විශේෂඥයින්ගේ අදහස ය.මානුෂ පැවැත්මේ සංකීර්ණත්වය පිළිබඳ එහි ව්‍යංගයත් ,ප්‍රකාශන විලාසයත් සාහිත්‍යය නිර්මාණ කෙරෙහි අභාසය සපයන්නක් බව ස්ටිත් තොම්සන් පෙන්වා දෙයි.විද්‍යා තාක්ෂණික මාධ්‍යයන් මගින් මිනිස් ජිවිත කෙරෙහි සිදුකර ඇතිබලපෑම් කොතරම් විචිත්‍ර ද එතරම් විචිත්‍රත්වයක් හා ගැඹුරක් ලෝක සමාජ විෂයෙහි ජනකතාව සිදුකර ඇතැයි යන්න පිළිගත් මතයකි.

ලෝකයේ සෑම රටකටම තම රටට අනන්‍ය වූ ජනකතා සම්ප්‍රදායක් ඇත.බුරුම ජනකතා,සියම් ජනකතා,චීන,ඉන්දියානු හා මොන්ගෝලියානු වශයෙන් අප ද ඒවා රස විඳ ඇත.ජන කතා ,ජන සංගීතය,ජනකවි,ජන නාට්‍ය ආදිය මෙන්ම ජන‌‍ශ්‍රැති ගණයෙහිලා සැලකෙන විවිධ යාතු කර්ම ඇදහිලි විශ්වාස ආදියද ජන සාහිත්‍යයෙන් අප ලද උරුමය වේ.ඒවා එලෙසම අනුකරණය අනපේක්ෂිත අතර ඒ තුළින් හෙළි කරන පුරුෂාර්ථ හා සාරධර්ම අපට වැදගත් වේ.

ඓතිහාසික වෘත්තාන්ත ජන‌‍ශ්‍රැති අතර කැපිපෙනෙන භූමිකාවකි.වසර දෙදහස් පන්සියයකට නොඅඩු ලිඛිත ඉතිහාසයක් මහාවංශය තුළින් අපට දායාද වී ඇත.නමුත් මෙම ජන‌‍ශ්‍රැති තුළින් ඊටත් එහා ගිය ඉතිහාසයක සුන්බුන් අපහට ගෙනහැර දක්වයි.මනු රාජවංශය,හෙළ අසුර රාජවංශය ගැන පවතින ජනකතා ඊට උදාහරණ සපයයි.එපමණක් නොව මහාවංශය තුල නොමැති එහෙත් ඉතා වැදගත් ඓතිහාසික සිද්ධි ආශ්‍රිත තොරතුරු බොහොමයක් කාලයේ වැලිතලාවට නොයට වී තවමත් ශේෂව ජනකතා තුල පවතී.බ්‍රිතාන්‍ය යුගයේදී අපගේ ඉතිහාසය නැවත ලිවීමේදී (1912 දී පමණ කොඩ්රින්ටන් ,බෙල්)ජනකතා තුල වූ ඓතිහාසික තොරතුරු ඉවතලන ලද්දේ ඒවායේ පිළිගත හැකි මට්ටමේ සාක්ෂ්‍යමය වැදගත් කමක් නැතැයි කියමිනි.එහෙයින් අප වර්තමානයේ ඉගෙන ගනු ලබන්නේ පෙරා දෙනු ලැබූ ඉතිහාසයක් පමණි.එහෙයින් ලිඛිත ඉතිහාසයෙන් නොකියවෙන බොහෝ සත්‍ය ඓතිහාසික සිදුවීම් අපෙන් දුරස් වන්නට විය.එය අපගේ ආකල්පමය වෙනසක් ඇතිවීමටද වක්‍රව බලපාන ලදී.ඒ සඳහා පුංචි උදාහරණයක්‌ ගෙනහැර දැක්වීමට කැමැත්තෙමි.ඔබෙන් හෝ වත්මන් පාසැල් සිසුවෙක්ගෙන් "දුටුගැමුණු රජතුමා සහ කාවන්තිස්ස රජතුමා යන දෙදෙනාගෙන් කවුද වඩා වීරයා ?"
කියා ඇසුවිට දෙන පිළිතුර කුමක්ද?එය නිසැකවම දුටුගැමුණු රජතුමා වේ.නමුත් මෙම ප්‍රශ්නයම 1960-1970 වැනි කාලයේ අම්පාර,පානම,අනුරාධපුරය වැනි ගම්බද ප්‍රදේශයක ජිවත් වූ ගොවියෙක්ගෙන් ඇසු විට ඔහු දෙන පිළිතුරෙන් ඔබ පුදුමයට පත්වනු ඇත.ඔහු කියනුයේ කාවන්තිස්ස රජු කියාය.මේ පිළිතුරු 2හි වෙනසට හේතුව ඔහු අපට වඩා ජන කතාවෙන් පෝෂණය වුවෙක් වීමයි.අප පාසැල් අධ්‍යපනයෙන් ඉගෙනගනු ලබන්නේ සීමිත ලිඛිත ඉතිහාසයකි.අද පරපුරට ජන‌‍ශ්‍රැති සම්බන්ධ දැනුම අල්පය.ජනකතා සාහිත්‍යය තුළින් ඉස්මතුවන කාවන්තිස්ස රජුගේ දුර දක්නා නුවණ ,අප්‍රතිහත ධෛර්යය ,සැලසුම් සහගත බව ,ආදරය ,සෙනෙහස ,කරුණාව ,ඉවසීම වැනි ගුණාංග බොහොමයකි.හෙතෙම තම පුතුට යුද්ධ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරනලද්දේ පුතු ඉපදීමටත් ප්‍රථම සිටය.කෙත්වතු අස්වද්දවා අටුකොටු පුරවා ,අවි ආයුධ කම්හල් පිහිටුවා,ඉලංගම් මඩු අලුතින් අරඹා ,දක්ෂ ශක්තිමත් තරුණයන් සේනාවන්ට බඳවා ගනිමින් සේනා සංවිධානය කරමින් පෙරසිට ම තම පුත් ගැමුණු කුමාරයට එළාරට එරෙහිව යුද්ධ කිරීමට අවශ්‍ය වපසරිය ක්‍රමානුකුලව දුරදිග බලා දීර්ඝ කාලයක සිටම සැලසුම් කරන ලද්දේ ය.ගැමුණු කුමරු නිසි වයසට එත්ම යුද්ධයට සියල්ල සුදානම්ය.මෙසේ බලනා විට ඇත්තෙන්ම කාවන්තිස්ස පියරජු කෙතරම් වීරයෙක්ද යන්න මොනවට පැහැදිලි කරයි.මෙවැනි බොහෝ කරුණු අප අතරින් වියැකෙමින් පවතී.මේ එක උදාහරණයක්‌ පමණි.

මහාවංශය ,දීපවංශය,ථුපවංශය ,ධාතුවංශය ,රසවාහිනිය ආදී අපේ වංශකතා මෙන්ම වෙනත් ඓතිහාසික හා අර්ධ ඓතිහාසිකකෘතිවල වුවද ජනකතාවේ බිජ අවස්ථා දැකිය හැකිය.මේසා වටිනා ජන කතා සාහිත්‍යය පිළිබඳ අප මදක් හෝ දැනුවත්ව සිටීම එම සාහිත්‍යයේ පැවැත්මට පොඩි හෝ තල්ලුවක් විය හැකි ය.

අත්තම්මාගෙන් ඇසු රස කතා තුළින් ඉදිරි ලිපියකින් හමුවෙමු.....................

(ලිපිය සම්බන්ද ඔබේ අදහස් පහතින් සටහන් කරන්නේ නම් ස්තුතිවන්ත වෙමි.)