Friday, December 14, 2012

බුලතාගේ හරබර වැව් පොඩ්ඩ............

ලංකා ඉතිහාසය අද මෙන් නොව වීරයන්ගෙන් මෙන්ම යෝධයන්ගෙන් ද පෝෂිත ඉතිහාසයකි.කඩොල් ඇතු දළ 2න් අල්වා බිම ඇන්නවූ නන්දිමිත්‍ර ප්‍රමුඛ දුටු ගැමුණු රජුගේ දසමහ යෝධයන් ද, වැලි මිරිකා වතුර ගත් ගජබාහු රජුගේ නීල මහා යෝධයාද , දීඝජන්තු ප්‍රමුඛ එළාරගේ විසි මහ යෝධයන්ද ලාංකික යෝධාවලියේ මුල් පරිච්ඡේද අත්පත් කර ගනී. එමෙන්ම ඔවුන් ගැන රසකතා අහුරු අහුරුය. :).මේ කියන්න සුදානම දුටුගැමුණු රජුගේ සේනාවේ සිටි තවත් එක් යෝධයෙක් ගැන අත්තම්මාගෙන් අසා දැනගත් රස කතාවකි. 
අපේ කතාවට මුලික වෙන්නේ මහියංගණය ප්‍රදේශයයි. කාලය දුටුගැමුණු රජුගේ පාලන සමයතෙක් දිවයයි. වකවානුව දුටුගැමුණු රජු මහියංගණය අත්පත් කරගෙන මහියංගණ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරන සමයයි. මේ කාලයේදී රජුට බුලතින් සංග්‍රහ කිරීම සිදුකරන ලද්දේ කිරිපට්ටිය ගමෙන් තෝරාගත් පුරුෂයෙකි. මොකද්ද මේ බුලත් සංග්‍රහය? බුලත් සංග්‍රහය යනු දවසට 7වරක් බුලත් විට ඒදා රජුට පිළිගැන්වීමයි. උදේ ආහාරයෙන් පසු, දහවල් 10වෙනි පැයට (සිංහල පය ක්‍රමයට අනුව), දහවල් කෑමෙන් පසුව, සවස් වරුවේ අතුරුපසෙන් පසුව, තිස් පය වෙලාවට සන්ධ්‍යා පානයෙන් පසු, රාත්‍රී ආහාරයෙන් පසු සහ රාත්‍රී නිදා ගැනීමට පෙර. ඔන්න ඔය හත් වරයට බුලත්වලින් සංග්‍රහ කිරීම රජ කාලයේ බුලත් මෙහෙ වැඩිම නමින් තමා හඳුන්වලා තියෙන්නේ. ඔහුගේ මෙම මෙහෙය නිසා ඔහුට "බුලතා" යනුවෙන් නමක්ද පට බැඳිණි. [අද කාලේ වගේම තමයි ;) ].
ඔන්න එහෙනම් දන අපේ කතා නායකයා බුලතා. බුලතාට පුංචි පුරුද්දක් පැවතුණි. එක් බුලත් මෙහෙයකින් පසු අනෙක් මෙහෙය දක්වා කාලය තුල අවට ඇවිද වටපිටාව බලාකියා ගැනීම. ඔහොම ඇවිදගෙන යනකොට මහියංගණයේ උතුරු පෙදෙසේ ගල් කඳු දෙකක් අතරෙන් දොළපාරක් පහත් බිමක් ඔස්සේ ගලා යනවා දක්නට ලැබුණි. ඒ දුටු ඔහුට කඳු දෙක හරස්කොට වැවක් තැනීමේ අදහස පහල විය. එමගින් ගව් ගණනක කුඹුරු යායක්ම අස්වැද්දවිය හැකි බවද කල්පනා විය.
බුලතා උදැල්ලකුත්, පස කුඩයකුත් රැගෙන සිය කටයුත්ත තනියම අරඹන ලදී. අත්තම්මා කිවූ පරිදි බුලතාගේ උදැල්ල සාමාන්‍ය මිනිසුන් දෙතුන් දෙනෙකු එක්ව එසවිය යුත්තකි. පස් පිරවූ කූඩයද ඊට නොදෙවෙනි නොවීය.  එය එසවීමට මිනිසුන් විසිපස් දෙනෙකුවත් අවශ්‍යය විය. බුලතාගේ තරම හිතාගන්න පුළුවන් නේද?ඔහු පස් කපා කඳු 2ක අතර පුරවා ටික කලකින්ම වේල්ල බැඳ අවසන් කරන ලදී.කන්ද කෙලවර පිහිටි ගල් තලාව කපා හෙතෙම සොරෝව්වක්ද සාදන ලදී. වැව් වතුර බැස යාම සඳහා ගලෙහිම ජල පැන්නුමක්ද සාදන ලදී. ඔහු මේ සියල්ල කරන ලද්දේ සිය තනි ශ්‍රමයෙනි. ඔහුට උදව්වන ලද්දේ උදැල්ල, කූඩය, කටුව සහ මිටිය යන අචේතනික වස්තුන් 4 යි. අද කාලේ මෙවැනි වැවක් හදන්න ගියා නම් තත්වය කෙබඳු වෙයිද? වැව හදන වියදමෙන් බාගයක් විතර මුල් ගල තැබීමේ උත්සවයට වැයවනු නොඅනුමානය. ;)
බුලතාගේ බිරින්දෑ ද ඔහුට නොදෙවෙනි නොවීය. ඇය දිනපතා දිවා ආහාරය රැගෙන එනවිට හා යනවිට ගමන පහසුව සඳහා පඩි පෙළක් සෑදීමට සිතාගෙන යන එන ගමන් ගල් කැබලි ගෙනවිත් පඩි පෙළක් බැඳ ඇත. මේ දුටු බුලතා කඳු මුදුනට විශාල ගල ගෙනවිත් දමා ඒවා බැඳීමට භාර්යාවට පවරණ ලදී. බිඳෙන් බිඳ ජලය එකතුවී කළයක් ක්‍රමයෙන් පිරෙන්නාක් මෙන් ටිකෙන් ටික මේ පවුල් සංස්ථාවේ ඒකා බද්ධ ව්‍යාපෘතිය ද  අවසන් අදියරට පැමිණෙන්නට විය. චෛත්‍යයේ අලුත් වැඩ කටයුතු නිම කරන වි‍ට ම ඊට සමගාමිව බුලතාගේ වැවත් නිම විය. චෛත්‍යයේ කොත පැළඳවීමේ කටයුතු නිමවූ පසු බුලතාගේ ආරාධනයෙන් දුටුගැමුණු රජු වැව් පොඩ්ඩ බැලීමට ගියේය. වැව දුටු රජු විස්මයෙන් ඇලලී ගියේ ය. මෙය බුලතාගේ ඒක පුද්හල නිර්මාණයක් බව දැක ඊටත් වැඩ පුදුම විය. බුලතාගේ හරබර වාරිකර්මාන්තයෙන් ඔහුගේ ශරීර ශක්තිය තේරුම්ගත් රජු හෙතෙම තම සේනාවට බඳවා ගන්නා ලදී.එලෙස තවත් එක් යෝධ පුරුෂයෙක් දුටුගැමුණු සේනාවට එක් වන ලදී.


එදා පටන් එම වැව "හරබර වැව" නමින් ප්‍රසිද්ධ විය. හරබර යන්න පසු කලෙක සරබර ද , සොරබර ද ආදී වශයෙන් උච්චාරණ පහසුව උදෙසා වෙනස් වී පසුව සොරබොර වැව බවට‍ පත් විය.
                   ඔන්න බලාපන් බුලතා කරපු                       බලේ
                   යතුරු දාපු ගල් දොර යට වතුර                    හැලේ
                   එන යන්නෝ ඉඩ නෑරම බැලුම්                  ගලේ
                   සොරබොර වැව නුදුටු ඇස් මොටද පින්       කලේ
මේ ජන කවියද ඇත අතීතයේ සිටම වැව හා බැඳී පැවත එන්නකි.


සොරබොර වැවෙහි වත්මන් ඡායාරූප කිහිපයකි.(ඡායාරූප උපුටා ගන්න ලද්දේ ලෝවනය බ්ලොග් අඩවියෙනි)

සොරබොර වැවෙහි පිටවාන 




සැන්දෑ කල සොරබොර වැව් ඉසමත්ත