Thursday, October 3, 2013

අහෝ...... ශ්‍රී ලාංකික රාජ්‍ය සේවය.........

ශ්‍රී ලාංකික රාජ්‍ය සේවය වූ කලි නම මතක් වූ පමණින් ඈනුමක් සමග නිදිමතක් පැමිණෙන මාතෘකාවකි.තව ද රාජ්‍ය ආයතන යැයි කියූ පමණින් බහුතරයක් දෙනාගේ මනසට පැමිණෙනුයේ මැදිවිය ඉක්මවූ රකුසු,රෞද්‍ර සහ කුසීත මුහුණු වලින් හෙබි උපන්දා සිට සිනාසීමට නොදත් කාර්ය මණ්ඩලයකි. එසේම යමෙකුට පහසුවෙන් රැකියාවක් කරගෙන නිදහසේ ජිවත් වීමට නම් රාජ්‍ය අංශයේ රැකියාවකට යායුතුය යන්න සමාජය තුල තවම කිඳා බැස ඇති අදහසකි. මේ ලාංකික ප්‍රජාව තුල රාජ්‍ය අංශය ගැන ඇති ආකල්ප ස්වල්පයකි. සුළුතරයක් රාජ්‍ය ආයතනවල තත්ත්වය මෙය නොවුනද බහුතරයක් වූ රාජ්‍ය ආයතනවල තත්ත්වය තවම එසේම ය.

රාජ්‍ය ආයතන යනු මහජන මුදලින් යැපෙන මහජනයාට සේවය කිරීමට අනිවාර්යයෙන් බැඳී සිටින ආයතන වන්නේය. විශේෂයෙන්ම පරිපාලන අංශයේ ආයතන ඍජු ලෙසම මෙයට අයත් ය. නමුත් සිදුවන්නේ මහජනයාට සේවය කිරීම හැරුණු කොට අන් සියළු දේම එම ආයතනවලින් සිදු වීමයි. මහජන සේවය මෙන්ම ආයතන තුල පරිපාලනයද විධිමත් කිරීමට සතියේ එක් දිනක් (බදාදා දින) මහජන සේවයට වෙන්කර ඇත. එය එසේ කර ඇත්තේ මහජනයාට රස්තියාදු නොවී තමා පැමිණි කාරණය එක් දිනක් තුලදී සිදු කරගැනුමට පහසුව සැලසීමය. කවර තරා තිරමක රාජ්‍ය සේවකයෙකු වුවද එදිනට කාර්යාලයේ සිටීම අනිවාර්ය වන්නේ මහජනයාට උපරිම සේවාවක් ලබාදීමටය.නමුත් කණගාටුවට කාරණය වන්නේ එම ලොකු ලොක්කන්ට රටේ නැති රැස්වීම් සමිති සම්මේලන සියල්ල එදින්නට යෙදීමය. ලොකු ලොක්කන් එසේ වෙද්දී සාමාන්‍ය රාජ්‍ය සේවකයින්ටද දහසකුත් එකක් වැඩය. තම දරුවන් පාසලෙන් එක්කගෙන ඒම, අතිරේක පන්තිවලට ඇරලවිම, අලුත හදන ගෙදර වැඩ යනවාදැයි බැලීමට 4-5 සැරයක් යාම,සාරි තේරීම,රුපලාවන්‍ය පාඨමලා පැවැත්වීම ආදී එකී නොකී මෙකී රාජකාරීන් ය. කෑම පැය තුල මෙවැනි දේ සිදු වෙයි නම් කමක් නැත. මන්ද ඔවුන් ද මනුස්සයන් බැවින් මානව සබඳතා පවත්වාගෙන යාම ඔවුන්ද සිදු කල යුතුය. ඔවුනටද ඉටු කලයුතු යුතුකම් වගකීම් රාශියක් ඇති බව අපි ද පිළිගනිමු. එහෙත් එය එසේ වූ පමණින් තම රාජකාරිය පැහැර හැර තම පෞද්ගලික වැඩකටයුතු ම පමණක් කිරීම යුක්ති සහගත නැත. තවද ඔවුන්ගේ උදැසන තේ වේලාව පැයකි , දහවල් කෑම පැය පැය දෙකකි. ඒ කෙසේ වෙතත් වැඩ අවසන් වීමට මිනිත්තු 10කට කලින් දුම්රිය හෝ බසය ඇල්ලීමට යයි කියමින් පිටව යති.මේ කෙසේ වෙතත් කලින් වැඩට පැමිණීමක්ද නැත. ඇඟිලි සලකුණු යන්ත්‍රයට පින්සිදු වීමට දැන් නම් තත්ත්වය තරමක් සමනය වී ඇත. එහෙත් කෑම පැය දෙක නම් තවම එසේමය. රාජකාරි වේලාවෙන් පැයක උදැසන පුවත්පත් කියවීමට වෙන්කර දී තිබෙන බව මම මේ ලඟදි දැනගත්තකි .
මේ සියල්ල ඉවසා සිටිය හැකිය නමුත් ඉවසිය නොහැක්කේ රටේ දුප්පත් ජනතාවගේ මුදලින් යැපී එම ජනතාවටම රැස් විහිදුවිමය. අසරණ සාමාන්‍ය මිනිසෙක් යමක කර ගැනීමට ගියහොත් අද බෑ හෙට එන්න, ඒ මිස් අද ඇවිත් නෑ..එන දවසක් කියන්න බෑ හෙටත් ඇවිත් බලන්න, මොකද්ද අයිසේ මේක හරි කරදරයක් නේ...හැමදාම එනවා ඉවරයක්‌ නැනේ.......,යනාදී වශයෙන් හිවල් ඝර්ජනා රාශියකි. මිට වඩා රාජ්‍ය සේවකයාට කරුණාවන්ත විය නොහැකිද? සුළුතරයක් හොඳ ආචාරශීලි රාජ්‍ය සේවකයන් සිටියද බහුතරයකගේ අමනකම් නිසා පොදුවේ සියල්ලෝම පරිභවයට පත්වීම වැලක්විය නොහැකිය.තත්ත්වය මෙසේවුවද දේශපාලුවෙකු හෝ ඔහුගේ හෙන්චයියෙකු පැමිණි විට නම් 2-3 ට නැවී එකත්පස්ව ඔහුට වාඩිවීමට සලස්වා තමාම කාර්යාලයේ අදාල තැන්වලට ගොස් නිමේෂයකින් අදාල වැඩය කර ගෙනවිත් දෙයි.

බහුතරයක් වූ රාජ්‍ය සේවකයන්ගේ නොසැලකිලිමත්ව රාජකාරියේ යෙදීම නම් සැලකියයුතු මට්ටමක ඇත. ලිපි ලේඛන අස්ථානගත විම්, මුදල් වංචා, ඒවා යට ගැසීම්, ඒවා සඳහා පහල ශ්‍රේණිවල සේවකයන් හසු කිරීම් එමට ය. මේ හේතුන් නිසා තම විශ්‍රාම වැටුප්,වන්දි මුදල් ලබා ගැනීමට නොහැකිව ලත වෙන පවුල් අනන්තය අප්‍රමාණය. තවද පෞද්ගලික එදිරිවාදිකම් මත ස්ථාන මාරුකිරීම්, සේවයෙන් පහ කිරීම් අනන්තය. එසේම තමාට හිතවත් උන් ලඟට ගැනීම උදෙසා දක්ෂ නිළධාරීන් අනිසි මාරු කිරීම්වලට ලක්කර ඔවුනට සේවය එපා කිරීම් බහුලය. මේවා ගැන සිතන විට රාජ්‍ය සේවය මෙන්ම රාජ්‍ය තන්ත්‍රය ම අධෝමැ යි කියා සිතේ....
කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයන් වසයෙන් අප කෙසේ හෝ අපේරටේ රාජ්‍ය සේවය ගුණාත්මක මෙන්ම ඵලදායි එකක් කරගත යුතුය. එය අපේ වගකීමකි. අපි අල්ලසින් දුෂණයෙන් තොර වූ විට ඔවුනටද ඉන් ඉබේම මිදීමට සිදුවේ. අපි අවුලු පත් නොසපයා සිටිනාතාක් එය යථාර්තයක් වනු ඇත. එලෙසම රාජ්‍ය සේවකයන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම අත්‍යවශ්‍යය. වයස 50 ඉක්මවූ වතුරෙන් තෙම්පරාදු ව කුරෝලු වූ රාජ්‍ය සේවකයන් වෙනස් කල නොහැක. නමුත් තරුණ රාජ්‍ය සේවකයා වෙනස් කල හැකිය. තරුණ ජවය නිවැරදි දැක්මකට මුසු කරවීමෙන් විපුල ඵල නෙලිය හැක්කේය.රාජකාරිය දේවකාරියටත් වඩා වැදගත් වූ අතීතයකට උරුමකම් කියූ අපි රාජකාරිය ශරීර කෘත්‍යක් තරම්වත් නොවැදගත් වර්තමානයෙන් ඉක්මණින්ම මිදිය යුතු ය.
අවසාන වශයෙන් කීමට ඇත්තේ පොඩි කකුළුවන් කෙලින් යාමට නම් මහ කකුළුවන් කෙලින් යායුතුම බව ය. මහ කකුළුවන්ගේ ඇදට යන මේ ගමන නුවණැස පැදි කෙලින් යෑමට හැකි වේවායි පතමි...........

Friday, April 5, 2013

මානව සබඳතා සහ ශ්‍රී ලාංකික උගත් මිනිසා..................


මානව සබඳතා යනු ශ්‍රී ලංකාව වැනි පෙරදිග රටක නම් ඉමහත් වටිනාකමක් ඇති සමාජීය අවශ්‍යතාවයකි. මන්දයත් ශ්‍රී ලංකාවේ සියළු සංස්කෘතික , සමාජයීය මෙන්ම සදාචාරාත්මක යහජිවනය රඳා පැවති ඇත්තේ යහපත් මානව සබඳතාවන්හි ප්‍රතිපලයක් වශයෙනි. ඇඳි වත කුදු නොමැතිව මෙලොව උපදින මනුෂ්‍ය ප්‍රාණියා උපන් මොහොතේ දන්නා එකම කාර්යය වනුයේ බෑංගිරි ගසා හැඩීම පමනිකි. සියුමැලි, ළපටි මනුෂ්‍ය පැටියා අම්මා ,තාත්තා යන ආදරණිය මානව සබඳතාවයන් දෙක හා බැඳෙයි. හෙතෙම ඒ ආදරණියයන් දෙපල සමග දන ගාමින් ,වැටි වැටි නැගිටිමින් දෙපයින් නැගීසිටීමට උත්සහ ගනී. "ම්මා....තත්තා " යනුවෙන් බහ තෝරන්නට වෙර දරයි. මදක් හිතන්න අපි ඉපදෙන මොහොතේ අම්මා ..තාත්තා... යන ආදරණිය මානව සබඳතා ද්විත්වය අපට නොලැබුණි නම් මේ ලෝකය හමුවේ අපි කෙතරම් අසරණ වන්නේද? එපමණක් නොව ආච්චි අම්මාසීයාමාමානැන්දාබාප්පාපුංචි,ලොකුඅම්මා,ලොකුතාත්තා යනුවෙන් ඒ ආදරණිය මානව සබඳතා ද්විත්වය ඔස්සේ අපට දහසකුත් මානව සබඳතා ගොඩ නැගෙයි. මේ සියල්ලම අපිව අඩුවැඩි මට්ටම්වලින් පොතපතින්,යහ ගුණයෙන්,සිරිත් විරිත් වලින් සුපෝෂණය කරයි. මෙවන් මානව සබඳතා නොවන්නට බොහෝ දෙනෙක් අරුත්සුන් චරිත වනු ඇත. පෙරදිග රටවල සියළු හර පද්ධතීන්ගේ මූලය මෙම සචේතනික සමීප මානවසබඳතාවයන්ය. මෙලෙස වර්ධනය වන්නාවූ මානව සබඳතා පවත්වාගෙන යාමට සමාජය තුල විවිධාකාර සිරිත් විරිත්, ඇවතුම් පැවතුම් හා සාරධර්ම ඇත. ඥාතිත්වය එහි එක්තරා ආකාරයක් ලෙස කිව හැකිය. 


අහල පහල ගෙයක හෝ දන්නා අඳුනන තැනක මල ගෙයක් උන විට අපට කොපමණ වැඩ රාජකාරි තුබුනද අප අවසාන ගෞරව දක්වන්නට යනුයේ එය කලයුත්තක් නිසා වෙනි. "මැරුණ මිනිහා මැරුණා,දැන් ඉතින් එක බලන්න ගිහින් වැඩක තියෙයිද? අපේ කාලේ නාස්ති වෙන එක විතරයි වෙන්නේ.මොකද අපි ගිය කියලා පණ එන එකක් යැයි.. "සමහර විටෙක බටහිර චින්තනයට හිස් මස් ලේ නහර ආදීය පවා දන් දී එය තම ඇට මිදුළුවලටම කිඳා බස්සාගත් කෙනෙකුට ඔවුන්ගේ විශ්ලේෂණයන්ට අනුකුලව සිතෙන්නට පුළුවන. නමුත් ඔවුන්ට අමතකවූ එක දෙයක් ඇත පෙරදිග රටවල බොහෝදෙනා තම මානව සබඳතාවලට වටිනා කමක් දී ඇති බවය . එය මුල්‍යමය වශයෙන් මනින්නට යෑම උක්ත විශ්ලේෂකයෝ කර ගත්තාවූ මෝඩ කමකි. ඔවුන් සිතනුයේ යමක කරන්නේ නම් එය එයට වෙන්කළ කාලයට සධරණයක් මෙන්ම මුල්‍යමය වටිනාකමක්ද එක් කරමින් අවසන් විය යුතු බවය. මේ නිසාවෙන් ඔවුන් මළගෙයක අවසන් ගෞරවයට යන මිනිත්තු 5 කාලය අපතේ යැවීමක් ලෙස අර්ථදක්වනු ලැබේ. 


එලෙසම අපගේ හිතවතෙක් හෝ ඥාතියෙක් ගිලන්ව රෝහල් ගතකලවිට අප ඔහුගේ සුවදුක් බැලීමට යන්නේ අපිට ලැබෙන ඉටිගෙඩියක් නිසාවෙන් නොව එය රෝගයෙන් පිඩාවට පත ඔහුගේ සිත ශක්තිමත් කිරීමට හා "බය වෙන්න එපා..ඕන දෙකට අපි ඉන්නවා..ඉක්මනට සනීප වෙන්න " යන ධනාත්මක සිතුවිල්ල ඔහුගේ සිත තුල රෝපණය කිරීමටය. එය වෙදකමක් නොව හෙදකමකි. වෙදකමට නම් ඕන තරම් වෛද්‍යවරු ඇත. නමුත් හෙදකමට ඔහුට ඉන්නේ ඔහුගේ පවුලේ උදවිය හා හිතවතු පමණි. මේ සියල්ල පුගලයකුගේ මානව සබඳතා මත ගොඩනැගෙන දේවල්ය. "අපෝ...මොකටද අපි හොස්පිටල් එකට යන්නේ...ඔය ඕන තරම් ඩොක්ටර්ස්ලා ඉන්නේ ලෙඩාව බලා ගන්න.... මොකද අපි ගියා කියල බෙහෙත් දෙන්න දන්න එකක් යැයි....ඊට වැඩ හොඳ නැද්ද අපේ වැඩක් කරගෙන ඉන්න එක....නිකන් අපේ කාලේ නාස්ති වෙන එක විතරයි වෙන්නේ...." යනුවෙන් බහුතරයක් වූ බටහිරින් ආචාර්ය උපාධි ලබාගත් ඇදුරන් සියල්ල වනිජ්‍යකරණය වූ ලෝකයක තමන් සිටිතැයි සිතමින් කළමනාකරණ මුලධර්ම වලින් මානව සබඳතා ක්‍රමාංකනයකරණයට යෑමෙන් තමන්ගේ විකෘති ආත්මාර්ථ මානසිකත්වය ප්‍රදර්ශනය කරනු ලබයි. එලෙස සියල්ලෝම සිතුවේ නම් අද ලංකාව කෙසේ වෙතත් ශ්‍රී ලංකාවක් නම් නොමැත. ලෝකෝත්තර සුවය තවම නොලැබූ අපිට මේ ජීවිතය එක් තොටුපලක් පමණක් බවත් කාලය ආ පසු නැවත යායුතු බවත් යනකොට ගෙන යන්නට ඇත්තේ තමන් කල පව් පින් මිස කළමනාකරණයේ ඇති කෙස් පැලෙන තර්ක ගෙන ආ හැකි මුල ධර්ම නොවන බව උක්ත උගතුන්ට සිහි කැඳවනු කැමැත්තෙමි. වයසට ගිය දා ට වතුර උගුරක්‌ දෙන්නට යමෙක් ඉතිරි වන්නේද ඉන්න ටික කාලේදී මනුස්සයන්ව මනුස්සකමින් ඇසුරු කළහොත් පමණක් බවද මතක කර දෙමි. ටික කලක් ටික දෙනෙක් ඔබගේ උගත් කමට ගරු කරවී. නමුත් ඔබගේ අමනුස්සකම වැටහුන දවසට ඔවුන්ද ඔබට නැති වන්නේය. නමුත් ඔබ මනුස්ස කමින් ඉන්න කාලේ සිටියොත් හැම දෙනා හැම කලටම ඔබට ගරු කරන බව උක්ත ප්‍රාමාණික උගතුන්ට මතක්කර දෙන්නට කැමැත්තෙමි................