Thursday, October 3, 2013

අහෝ...... ශ්‍රී ලාංකික රාජ්‍ය සේවය.........

ශ්‍රී ලාංකික රාජ්‍ය සේවය වූ කලි නම මතක් වූ පමණින් ඈනුමක් සමග නිදිමතක් පැමිණෙන මාතෘකාවකි.තව ද රාජ්‍ය ආයතන යැයි කියූ පමණින් බහුතරයක් දෙනාගේ මනසට පැමිණෙනුයේ මැදිවිය ඉක්මවූ රකුසු,රෞද්‍ර සහ කුසීත මුහුණු වලින් හෙබි උපන්දා සිට සිනාසීමට නොදත් කාර්ය මණ්ඩලයකි. එසේම යමෙකුට පහසුවෙන් රැකියාවක් කරගෙන නිදහසේ ජිවත් වීමට නම් රාජ්‍ය අංශයේ රැකියාවකට යායුතුය යන්න සමාජය තුල තවම කිඳා බැස ඇති අදහසකි. මේ ලාංකික ප්‍රජාව තුල රාජ්‍ය අංශය ගැන ඇති ආකල්ප ස්වල්පයකි. සුළුතරයක් රාජ්‍ය ආයතනවල තත්ත්වය මෙය නොවුනද බහුතරයක් වූ රාජ්‍ය ආයතනවල තත්ත්වය තවම එසේම ය.

රාජ්‍ය ආයතන යනු මහජන මුදලින් යැපෙන මහජනයාට සේවය කිරීමට අනිවාර්යයෙන් බැඳී සිටින ආයතන වන්නේය. විශේෂයෙන්ම පරිපාලන අංශයේ ආයතන ඍජු ලෙසම මෙයට අයත් ය. නමුත් සිදුවන්නේ මහජනයාට සේවය කිරීම හැරුණු කොට අන් සියළු දේම එම ආයතනවලින් සිදු වීමයි. මහජන සේවය මෙන්ම ආයතන තුල පරිපාලනයද විධිමත් කිරීමට සතියේ එක් දිනක් (බදාදා දින) මහජන සේවයට වෙන්කර ඇත. එය එසේ කර ඇත්තේ මහජනයාට රස්තියාදු නොවී තමා පැමිණි කාරණය එක් දිනක් තුලදී සිදු කරගැනුමට පහසුව සැලසීමය. කවර තරා තිරමක රාජ්‍ය සේවකයෙකු වුවද එදිනට කාර්යාලයේ සිටීම අනිවාර්ය වන්නේ මහජනයාට උපරිම සේවාවක් ලබාදීමටය.නමුත් කණගාටුවට කාරණය වන්නේ එම ලොකු ලොක්කන්ට රටේ නැති රැස්වීම් සමිති සම්මේලන සියල්ල එදින්නට යෙදීමය. ලොකු ලොක්කන් එසේ වෙද්දී සාමාන්‍ය රාජ්‍ය සේවකයින්ටද දහසකුත් එකක් වැඩය. තම දරුවන් පාසලෙන් එක්කගෙන ඒම, අතිරේක පන්තිවලට ඇරලවිම, අලුත හදන ගෙදර වැඩ යනවාදැයි බැලීමට 4-5 සැරයක් යාම,සාරි තේරීම,රුපලාවන්‍ය පාඨමලා පැවැත්වීම ආදී එකී නොකී මෙකී රාජකාරීන් ය. කෑම පැය තුල මෙවැනි දේ සිදු වෙයි නම් කමක් නැත. මන්ද ඔවුන් ද මනුස්සයන් බැවින් මානව සබඳතා පවත්වාගෙන යාම ඔවුන්ද සිදු කල යුතුය. ඔවුනටද ඉටු කලයුතු යුතුකම් වගකීම් රාශියක් ඇති බව අපි ද පිළිගනිමු. එහෙත් එය එසේ වූ පමණින් තම රාජකාරිය පැහැර හැර තම පෞද්ගලික වැඩකටයුතු ම පමණක් කිරීම යුක්ති සහගත නැත. තවද ඔවුන්ගේ උදැසන තේ වේලාව පැයකි , දහවල් කෑම පැය පැය දෙකකි. ඒ කෙසේ වෙතත් වැඩ අවසන් වීමට මිනිත්තු 10කට කලින් දුම්රිය හෝ බසය ඇල්ලීමට යයි කියමින් පිටව යති.මේ කෙසේ වෙතත් කලින් වැඩට පැමිණීමක්ද නැත. ඇඟිලි සලකුණු යන්ත්‍රයට පින්සිදු වීමට දැන් නම් තත්ත්වය තරමක් සමනය වී ඇත. එහෙත් කෑම පැය දෙක නම් තවම එසේමය. රාජකාරි වේලාවෙන් පැයක උදැසන පුවත්පත් කියවීමට වෙන්කර දී තිබෙන බව මම මේ ලඟදි දැනගත්තකි .
මේ සියල්ල ඉවසා සිටිය හැකිය නමුත් ඉවසිය නොහැක්කේ රටේ දුප්පත් ජනතාවගේ මුදලින් යැපී එම ජනතාවටම රැස් විහිදුවිමය. අසරණ සාමාන්‍ය මිනිසෙක් යමක කර ගැනීමට ගියහොත් අද බෑ හෙට එන්න, ඒ මිස් අද ඇවිත් නෑ..එන දවසක් කියන්න බෑ හෙටත් ඇවිත් බලන්න, මොකද්ද අයිසේ මේක හරි කරදරයක් නේ...හැමදාම එනවා ඉවරයක්‌ නැනේ.......,යනාදී වශයෙන් හිවල් ඝර්ජනා රාශියකි. මිට වඩා රාජ්‍ය සේවකයාට කරුණාවන්ත විය නොහැකිද? සුළුතරයක් හොඳ ආචාරශීලි රාජ්‍ය සේවකයන් සිටියද බහුතරයකගේ අමනකම් නිසා පොදුවේ සියල්ලෝම පරිභවයට පත්වීම වැලක්විය නොහැකිය.තත්ත්වය මෙසේවුවද දේශපාලුවෙකු හෝ ඔහුගේ හෙන්චයියෙකු පැමිණි විට නම් 2-3 ට නැවී එකත්පස්ව ඔහුට වාඩිවීමට සලස්වා තමාම කාර්යාලයේ අදාල තැන්වලට ගොස් නිමේෂයකින් අදාල වැඩය කර ගෙනවිත් දෙයි.

බහුතරයක් වූ රාජ්‍ය සේවකයන්ගේ නොසැලකිලිමත්ව රාජකාරියේ යෙදීම නම් සැලකියයුතු මට්ටමක ඇත. ලිපි ලේඛන අස්ථානගත විම්, මුදල් වංචා, ඒවා යට ගැසීම්, ඒවා සඳහා පහල ශ්‍රේණිවල සේවකයන් හසු කිරීම් එමට ය. මේ හේතුන් නිසා තම විශ්‍රාම වැටුප්,වන්දි මුදල් ලබා ගැනීමට නොහැකිව ලත වෙන පවුල් අනන්තය අප්‍රමාණය. තවද පෞද්ගලික එදිරිවාදිකම් මත ස්ථාන මාරුකිරීම්, සේවයෙන් පහ කිරීම් අනන්තය. එසේම තමාට හිතවත් උන් ලඟට ගැනීම උදෙසා දක්ෂ නිළධාරීන් අනිසි මාරු කිරීම්වලට ලක්කර ඔවුනට සේවය එපා කිරීම් බහුලය. මේවා ගැන සිතන විට රාජ්‍ය සේවය මෙන්ම රාජ්‍ය තන්ත්‍රය ම අධෝමැ යි කියා සිතේ....
කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයන් වසයෙන් අප කෙසේ හෝ අපේරටේ රාජ්‍ය සේවය ගුණාත්මක මෙන්ම ඵලදායි එකක් කරගත යුතුය. එය අපේ වගකීමකි. අපි අල්ලසින් දුෂණයෙන් තොර වූ විට ඔවුනටද ඉන් ඉබේම මිදීමට සිදුවේ. අපි අවුලු පත් නොසපයා සිටිනාතාක් එය යථාර්තයක් වනු ඇත. එලෙසම රාජ්‍ය සේවකයන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම අත්‍යවශ්‍යය. වයස 50 ඉක්මවූ වතුරෙන් තෙම්පරාදු ව කුරෝලු වූ රාජ්‍ය සේවකයන් වෙනස් කල නොහැක. නමුත් තරුණ රාජ්‍ය සේවකයා වෙනස් කල හැකිය. තරුණ ජවය නිවැරදි දැක්මකට මුසු කරවීමෙන් විපුල ඵල නෙලිය හැක්කේය.රාජකාරිය දේවකාරියටත් වඩා වැදගත් වූ අතීතයකට උරුමකම් කියූ අපි රාජකාරිය ශරීර කෘත්‍යක් තරම්වත් නොවැදගත් වර්තමානයෙන් ඉක්මණින්ම මිදිය යුතු ය.
අවසාන වශයෙන් කීමට ඇත්තේ පොඩි කකුළුවන් කෙලින් යාමට නම් මහ කකුළුවන් කෙලින් යායුතුම බව ය. මහ කකුළුවන්ගේ ඇදට යන මේ ගමන නුවණැස පැදි කෙලින් යෑමට හැකි වේවායි පතමි...........