ශ්‍රී ලාංකික රාජ්‍ය සේවය වූ කලි නම මතක් වූ පමණින් ඈනුමක් සමග නිදිමතක් පැමිණෙන මාතෘකාවකි.තව ද රාජ්‍ය ආයතන යැයි කියූ පමණින් බහුතරයක් දෙනාගේ මනසට පැමිණෙනුයේ මැදිවිය ඉක්මවූ රකුසු,රෞද්‍ර සහ කුසීත මුහුණු වලින් හෙබි උපන්දා සිට සිනාසීමට නොදත් කාර්ය මණ්ඩලයකි. එසේම යමෙකුට පහසුවෙන් රැකියාවක් කරගෙන නිදහසේ ජිවත් වීමට නම් රාජ්‍ය අංශයේ රැකියාවකට යායුතුය යන්න සමාජය තුල තවම කිඳා බැස ඇති අදහසකි. මේ ලාංකික ප්‍රජාව තුල රාජ්‍ය අංශය ගැන ඇති ආකල්ප ස්වල්පයකි. සුළුතරයක් රාජ්‍ය ආයතනවල තත්ත්වය මෙය නොවුනද බහුතරයක් වූ රාජ්‍ය ආයතනවල තත්ත්වය තවම එසේම ය.
රාජ්‍ය ආයතන යනු මහජන මුදලින් යැපෙන මහජනයාට සේවය කිරීමට අනිවාර්යයෙන් බැඳී සිටින ආයතන වන්නේය. විශේෂයෙන්ම පරිපාලන අංශයේ ආයතන ඍජු ලෙසම මෙයට අයත් ය. නමුත් සිදුවන්නේ මහජනයාට සේවය කිරීම හැරුණු කොට අන් සියළු දේම එම ආයතනවලින් සිදු වීමයි. මහජන සේවය මෙන්ම ආයතන තුල පරිපාලනයද විධිමත් කිරීමට සතියේ එක් දිනක් (බදාදා දින) මහජන සේවයට වෙන්කර ඇත. එය එසේ කර ඇත්තේ මහජනයාට රස්තියාදු නොවී තමා පැමිණි කාරණය එක් දිනක් තුලදී සිදු කරගැනුමට පහසුව සැලසීමය. කවර තරා තිරමක රාජ්‍ය සේවකයෙකු වුවද එදිනට කාර්යාලයේ සිටීම අනිවාර්ය වන්නේ මහජනයාට උපරිම සේවාවක් ලබාදීමටය.නමුත් කණගාටුවට කාරණය වන්නේ එම ලොකු ලොක්කන්ට රටේ නැති රැස්වීම් සමිති සම්මේලන සියල්ල එදින්නට යෙදීමය. ලොකු ලොක්කන් එසේ වෙද්දී සාමාන්‍ය රාජ්‍ය සේවකයින්ටද දහසකුත් එකක් වැඩය. තම දරුවන් පාසලෙන් එක්කගෙන ඒම, අතිරේක පන්තිවලට ඇරලවිම, අලුත හදන ගෙදර වැඩ යනවාදැයි බැලීමට 4-5 සැරයක් යාම,සාරි තේරීම,රුපලාවන්‍ය පාඨමලා පැවැත්වීම ආදී එකී නොකී මෙකී රාජකාරීන් ය. කෑම පැය තුල මෙවැනි දේ සිදු වෙයි නම් කමක් නැත. මන්ද ඔවුන් ද මනුස්සයන් බැවින් මානව සබඳතා පවත්වාගෙන යාම ඔවුන්ද සිදු කල යුතුය. ඔවුනටද ඉටු කලයුතු යුතුකම් වගකීම් රාශියක් ඇති බව අපි ද පිළිගනිමු. එහෙත් එය එසේ වූ පමණින් තම රාජකාරිය පැහැර හැර තම පෞද්ගලික වැඩකටයුතු ම පමණක් කිරීම යුක්ති සහගත නැත. තවද ඔවුන්ගේ උදැසන තේ වේලාව පැයකි , දහවල් කෑම පැය පැය දෙකකි. ඒ කෙසේ වෙතත් වැඩ අවසන් වීමට මිනිත්තු 10කට කලින් දුම්රිය හෝ බසය ඇල්ලීමට යයි කියමින් පිටව යති.මේ කෙසේ වෙතත් කලින් වැඩට පැමිණීමක්ද නැත. ඇඟිලි සලකුණු යන්ත්‍රයට පින්සිදු වීමට දැන් නම් තත්ත්වය තරමක් සමනය වී ඇත. එහෙත් කෑම පැය දෙක නම් තවම එසේමය. රාජකාරි වේලාවෙන් පැයක උදැසන පුවත්පත් කියවීමට වෙන්කර දී තිබෙන බව මම මේ ලඟදි දැනගත්තකි .
මේ සියල්ල ඉවසා සිටිය හැකිය නමුත් ඉවසිය නොහැක්කේ රටේ දුප්පත් ජනතාවගේ මුදලින් යැපී එම ජනතාවටම රැස් විහිදුවිමය. අසරණ සාමාන්‍ය මිනිසෙක් යමක කර ගැනීමට ගියහොත් අද බෑ හෙට එන්න, ඒ මිස් අද ඇවිත් නෑ..එන දවසක් කියන්න බෑ හෙටත් ඇවිත් බලන්න, මොකද්ද අයිසේ මේක හරි කරදරයක් නේ...හැමදාම එනවා ඉවරයක් නැනේ.......,යනාදී වශයෙන් හිවල් ඝර්ජනා රාශියකි. මිට වඩා රාජ්‍ය සේවකයාට කරුණාවන්ත විය නොහැකිද? සුළුතරයක් හොඳ ආචාරශීලි රාජ්‍ය සේවකයන් සිටියද බහුතරයකගේ අමනකම් නිසා පොදුවේ සියල්ලෝම පරිභවයට පත්වීම වැලක්විය නොහැකිය.තත්ත්වය මෙසේවුවද දේශපාලුවෙකු හෝ ඔහුගේ හෙන්චයියෙකු පැමිණි විට නම් 2-3 ට නැවී එකත්පස්ව ඔහුට වාඩිවීමට සලස්වා තමාම කාර්යාලයේ අදාල තැන්වලට ගොස් නිමේෂයකින් අදාල වැඩය කර ගෙනවිත් දෙයි.
බහුතරයක් වූ රාජ්‍ය සේවකයන්ගේ නොසැලකිලිමත්ව රාජකාරියේ යෙදීම නම් සැලකියයුතු මට්ටමක ඇත. ලිපි ලේඛන අස්ථානගත විම්, මුදල් වංචා, ඒවා යට ගැසීම්, ඒවා සඳහා පහල ශ්‍රේණිවල සේවකයන් හසු කිරීම් එමට ය. මේ හේතුන් නිසා තම විශ්‍රාම වැටුප්,වන්දි මුදල් ලබා ගැනීමට නොහැකිව ලත වෙන පවුල් අනන්තය අප්‍රමාණය. තවද පෞද්ගලික එදිරිවාදිකම් මත ස්ථාන මාරුකිරීම්, සේවයෙන් පහ කිරීම් අනන්තය. එසේම තමාට හිතවත් උන් ලඟට ගැනීම උදෙසා දක්ෂ නිළධාරීන් අනිසි මාරු කිරීම්වලට ලක්කර ඔවුනට සේවය එපා කිරීම් බහුලය. මේවා ගැන සිතන විට රාජ්‍ය සේවය මෙන්ම රාජ්‍ය තන්ත්‍රය ම අධෝමැ යි කියා සිතේ....
කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයන් වසයෙන් අප කෙසේ හෝ අපේරටේ රාජ්‍ය සේවය ගුණාත්මක මෙන්ම ඵලදායි එකක් කරගත යුතුය. එය අපේ වගකීමකි. අපි අල්ලසින් දුෂණයෙන් තොර වූ විට ඔවුනටද ඉන් ඉබේම මිදීමට සිදුවේ. අපි අවුලු පත් නොසපයා සිටිනාතාක් එය යථාර්තයක් වනු ඇත. එලෙසම රාජ්‍ය සේවකයන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම අත්‍යවශ්‍යය. වයස 50 ඉක්මවූ වතුරෙන් තෙම්පරාදු ව කුරෝලු වූ රාජ්‍ය සේවකයන් වෙනස් කල නොහැක. නමුත් තරුණ රාජ්‍ය සේවකයා වෙනස් කල හැකිය. තරුණ ජවය නිවැරදි දැක්මකට මුසු කරවීමෙන් විපුල ඵල නෙලිය හැක්කේය.රාජකාරිය දේවකාරියටත් වඩා වැදගත් වූ අතීතයකට උරුමකම් කියූ අපි රාජකාරිය ශරීර කෘත්‍යක් තරම්වත් නොවැදගත් වර්තමානයෙන් ඉක්මණින්ම මිදිය යුතු ය.
අවසාන වශයෙන් කීමට ඇත්තේ පොඩි කකුළුවන් කෙලින් යාමට නම් මහ කකුළුවන් කෙලින් යායුතුම බව ය. මහ කකුළුවන්ගේ ඇදට යන මේ ගමන නුවණැස පැදි කෙලින් යෑමට හැකි වේවායි පතමි...........
ඇසි දිසි මානය
Thursday, October 3, 2013
Friday, April 5, 2013
මානව සබඳතා සහ ශ්‍රී ලාංකික උගත් මිනිසා..................
මානව සබඳතා යනු ශ්‍රී ලංකාව වැනි පෙරදිග රටක නම්
ඉමහත් වටිනාකමක් ඇති සමාජීය අවශ්‍යතාවයකි. මන්දයත් ශ්‍රී ලංකාවේ සියළු සංස්කෘතික ,
සමාජයීය මෙන්ම සදාචාරාත්මක යහජිවනය රඳා පැවති
ඇත්තේ යහපත් මානව සබඳතාවන්හි ප්‍රතිපලයක් වශයෙනි. ඇඳි වත කුදු නොමැතිව මෙලොව උපදින
මනුෂ්‍ය ප්‍රාණියා උපන් මොහොතේ දන්නා එකම කාර්යය වනුයේ බෑංගිරි ගසා හැඩීම පමනිකි.
සියුමැලි, ළපටි මනුෂ්‍ය පැටියා අම්මා ,තාත්තා යන ආදරණිය මානව සබඳතාවයන් දෙක හා බැඳෙයි. හෙතෙම ඒ ආදරණියයන් දෙපල සමග දන
ගාමින් ,වැටි වැටි නැගිටිමින් දෙපයින් නැගීසිටීමට උත්සහ
ගනී. "ම්මා....තත්තා " යනුවෙන් බහ තෝරන්නට වෙර දරයි. මදක් හිතන්න අපි
ඉපදෙන මොහොතේ අම්මා ..තාත්තා... යන ආදරණිය මානව සබඳතා ද්විත්වය අපට නොලැබුණි නම්
මේ ලෝකය හමුවේ අපි කෙතරම් අසරණ වන්නේද? එපමණක් නොව
ආච්චි අම්මා, සීයා, මාමා, නැන්දා, බාප්පා, පුංචි,ලොකුඅම්මා,ලොකුතාත්තා යනුවෙන් ඒ ආදරණිය මානව සබඳතා ද්විත්වය
ඔස්සේ අපට දහසකුත් මානව සබඳතා ගොඩ නැගෙයි. මේ සියල්ලම අපිව අඩුවැඩි මට්ටම්වලින්
පොතපතින්,යහ ගුණයෙන්,සිරිත්
විරිත් වලින් සුපෝෂණය කරයි. මෙවන් මානව සබඳතා නොවන්නට බොහෝ දෙනෙක් අරුත්සුන් චරිත
වනු ඇත. පෙරදිග රටවල සියළු හර පද්ධතීන්ගේ මූලය මෙම සචේතනික සමීප මානවසබඳතාවයන්ය. මෙලෙස වර්ධනය වන්නාවූ මානව සබඳතා පවත්වාගෙන යාමට
සමාජය තුල විවිධාකාර සිරිත් විරිත්, ඇවතුම්
පැවතුම් හා සාරධර්ම ඇත. ඥාතිත්වය එහි එක්තරා ආකාරයක් ලෙස කිව හැකිය.
අහල පහල ගෙයක හෝ දන්නා අඳුනන තැනක මල ගෙයක් උන
විට අපට කොපමණ වැඩ රාජකාරි තුබුනද අප අවසාන ගෞරව දක්වන්නට යනුයේ එය කලයුත්තක් නිසා
වෙනි. "මැරුණ මිනිහා මැරුණා,දැන් ඉතින්
එක බලන්න ගිහින් වැඩක තියෙයිද? අපේ කාලේ නාස්ති වෙන එක විතරයි වෙන්නේ.මොකද අපි
ගිය කියලා පණ එන එකක් යැයි.. "සමහර විටෙක බටහිර චින්තනයට හිස් මස් ලේ නහර
ආදීය පවා දන් දී එය තම ඇට මිදුළුවලටම කිඳා බස්සාගත් කෙනෙකුට ඔවුන්ගේ විශ්ලේෂණයන්ට
අනුකුලව සිතෙන්නට පුළුවන. නමුත් ඔවුන්ට අමතකවූ එක දෙයක් ඇත පෙරදිග රටවල බොහෝදෙනා තම
මානව සබඳතාවලට වටිනා කමක් දී ඇති බවය . එය මුල්‍යමය වශයෙන් මනින්නට යෑම උක්ත
විශ්ලේෂකයෝ කර ගත්තාවූ මෝඩ කමකි. ඔවුන් සිතනුයේ යමක කරන්නේ නම් එය එයට වෙන්කළ
කාලයට සධරණයක් මෙන්ම මුල්‍යමය වටිනාකමක්ද එක් කරමින් අවසන් විය යුතු බවය. මේ
නිසාවෙන් ඔවුන් මළගෙයක අවසන් ගෞරවයට යන මිනිත්තු 5
කාලය අපතේ යැවීමක් ලෙස අර්ථදක්වනු ලැබේ.
එලෙසම අපගේ හිතවතෙක් හෝ ඥාතියෙක් ගිලන්ව රෝහල්
ගතකලවිට අප ඔහුගේ සුවදුක් බැලීමට යන්නේ අපිට ලැබෙන ඉටිගෙඩියක් නිසාවෙන් නොව එය
රෝගයෙන් පිඩාවට පත ඔහුගේ සිත ශක්තිමත් කිරීමට හා "බය වෙන්න එපා..ඕන දෙකට අපි
ඉන්නවා..ඉක්මනට සනීප වෙන්න " යන ධනාත්මක සිතුවිල්ල ඔහුගේ සිත තුල රෝපණය
කිරීමටය. එය වෙදකමක් නොව හෙදකමකි. වෙදකමට නම් ඕන තරම් වෛද්‍යවරු ඇත. නමුත් හෙදකමට
ඔහුට ඉන්නේ ඔහුගේ පවුලේ උදවිය හා හිතවතු පමණි. මේ සියල්ල පුගලයකුගේ මානව සබඳතා මත
ගොඩනැගෙන දේවල්ය. "අපෝ...මොකටද අපි හොස්පිටල් එකට යන්නේ...ඔය ඕන
තරම් ඩොක්ටර්ස්ලා ඉන්නේ ලෙඩාව බලා ගන්න.... මොකද අපි ගියා කියල බෙහෙත් දෙන්න දන්න
එකක් යැයි....ඊට වැඩ හොඳ නැද්ද අපේ වැඩක් කරගෙන ඉන්න එක....නිකන් අපේ කාලේ නාස්ති
වෙන එක විතරයි වෙන්නේ...." යනුවෙන් බහුතරයක් වූ බටහිරින් ආචාර්ය උපාධි ලබාගත්
ඇදුරන් සියල්ල වනිජ්‍යකරණය වූ ලෝකයක තමන් සිටිතැයි සිතමින් කළමනාකරණ මුලධර්ම වලින්
මානව සබඳතා ක්‍රමාංකනයකරණයට යෑමෙන් තමන්ගේ විකෘති ආත්මාර්ථ මානසිකත්වය ප්‍රදර්ශනය
කරනු ලබයි. එලෙස සියල්ලෝම සිතුවේ නම් අද ලංකාව කෙසේ වෙතත් ශ්‍රී ලංකාවක් නම්
නොමැත. ලෝකෝත්තර සුවය තවම නොලැබූ අපිට මේ ජීවිතය එක් තොටුපලක් පමණක් බවත් කාලය ආ
පසු නැවත යායුතු බවත් යනකොට ගෙන යන්නට ඇත්තේ තමන් කල පව් පින් මිස කළමනාකරණයේ ඇති
කෙස් පැලෙන තර්ක ගෙන ආ හැකි මුල ධර්ම නොවන බව උක්ත උගතුන්ට සිහි කැඳවනු
කැමැත්තෙමි. වයසට ගිය දා ට වතුර උගුරක් දෙන්නට යමෙක් ඉතිරි වන්නේද ඉන්න ටික
කාලේදී මනුස්සයන්ව මනුස්සකමින් ඇසුරු කළහොත් පමණක් බවද මතක කර දෙමි. ටික කලක් ටික
දෙනෙක් ඔබගේ උගත් කමට ගරු කරවී. නමුත් ඔබගේ අමනුස්සකම වැටහුන දවසට ඔවුන්ද ඔබට නැති
වන්නේය. නමුත් ඔබ මනුස්ස කමින් ඉන්න කාලේ සිටියොත් හැම දෙනා හැම කලටම ඔබට ගරු කරන
බව උක්ත ප්‍රාමාණික උගතුන්ට මතක්කර දෙන්නට කැමැත්තෙමි................
Friday, December 14, 2012
බුලතාගේ හරබර වැව් පොඩ්ඩ............
ලංකා ඉතිහාසය අද මෙන් නොව වීරයන්ගෙන් මෙන්ම යෝධයන්ගෙන් ද පෝෂිත ඉතිහාසයකි.කඩොල් ඇතු දළ 2න් අල්වා බිම ඇන්නවූ නන්දිමිත්‍ර ප්‍රමුඛ දුටු ගැමුණු රජුගේ දසමහ යෝධයන් ද, වැලි මිරිකා වතුර ගත් ගජබාහු රජුගේ නීල මහා යෝධයාද , දීඝජන්තු ප්‍රමුඛ එළාරගේ විසි මහ යෝධයන්ද ලාංකික යෝධාවලියේ මුල් පරිච්ඡේද අත්පත් කර ගනී. එමෙන්ම ඔවුන් ගැන රසකතා අහුරු අහුරුය. :).මේ කියන්න සුදානම දුටුගැමුණු රජුගේ සේනාවේ සිටි තවත් එක් යෝධයෙක් ගැන අත්තම්මාගෙන් අසා දැනගත් රස කතාවකි.
බුලතා උදැල්ලකුත්, පස කුඩයකුත් රැගෙන සිය කටයුත්ත තනියම අරඹන ලදී. අත්තම්මා කිවූ පරිදි බුලතාගේ උදැල්ල සාමාන්‍ය මිනිසුන් දෙතුන් දෙනෙකු එක්ව එසවිය යුත්තකි. පස් පිරවූ කූඩයද ඊට නොදෙවෙනි නොවීය. එය එසවීමට මිනිසුන් විසිපස් දෙනෙකුවත් අවශ්‍යය විය. බුලතාගේ තරම හිතාගන්න පුළුවන් නේද?ඔහු පස් කපා කඳු 2ක අතර පුරවා ටික කලකින්ම වේල්ල බැඳ අවසන් කරන ලදී.කන්ද කෙලවර පිහිටි ගල් තලාව කපා හෙතෙම සොරෝව්වක්ද සාදන ලදී. වැව් වතුර බැස යාම සඳහා ගලෙහිම ජල පැන්නුමක්ද සාදන ලදී. ඔහු මේ සියල්ල කරන ලද්දේ සිය තනි ශ්‍රමයෙනි. ඔහුට උදව්වන ලද්දේ උදැල්ල, කූඩය, කටුව සහ මිටිය යන අචේතනික වස්තුන් 4 යි. අද කාලේ මෙවැනි වැවක් හදන්න ගියා නම් තත්වය කෙබඳු වෙයිද? වැව හදන වියදමෙන් බාගයක් විතර මුල් ගල තැබීමේ උත්සවයට වැයවනු නොඅනුමානය. ;)
බුලතාගේ බිරින්දෑ ද ඔහුට නොදෙවෙනි නොවීය. ඇය දිනපතා දිවා ආහාරය රැගෙන එනවිට හා යනවිට ගමන පහසුව සඳහා පඩි පෙළක් සෑදීමට සිතාගෙන යන එන ගමන් ගල් කැබලි ගෙනවිත් පඩි පෙළක් බැඳ ඇත. මේ දුටු බුලතා කඳු මුදුනට විශාල ගල ගෙනවිත් දමා ඒවා බැඳීමට භාර්යාවට පවරණ ලදී. බිඳෙන් බිඳ ජලය එකතුවී කළයක් ක්‍රමයෙන් පිරෙන්නාක් මෙන් ටිකෙන් ටික මේ පවුල් සංස්ථාවේ ඒකා බද්ධ ව්‍යාපෘතිය ද අවසන් අදියරට පැමිණෙන්නට විය. චෛත්‍යයේ අලුත් වැඩ කටයුතු නිම කරන විට ම ඊට සමගාමිව බුලතාගේ වැවත් නිම විය. චෛත්‍යයේ කොත පැළඳවීමේ කටයුතු නිමවූ පසු බුලතාගේ ආරාධනයෙන් දුටුගැමුණු රජු වැව් පොඩ්ඩ බැලීමට ගියේය. වැව දුටු රජු විස්මයෙන් ඇලලී ගියේ ය. මෙය බුලතාගේ ඒක පුද්හල නිර්මාණයක් බව දැක ඊටත් වැඩ පුදුම විය. බුලතාගේ හරබර වාරිකර්මාන්තයෙන් ඔහුගේ ශරීර ශක්තිය තේරුම්ගත් රජු හෙතෙම තම සේනාවට බඳවා ගන්නා ලදී.එලෙස තවත් එක් යෝධ පුරුෂයෙක් දුටුගැමුණු සේනාවට එක් වන ලදී.
එදා පටන් එම වැව "හරබර වැව" නමින් ප්‍රසිද්ධ විය. හරබර යන්න පසු කලෙක සරබර ද , සොරබර ද ආදී වශයෙන් උච්චාරණ පහසුව උදෙසා වෙනස් වී පසුව සොරබොර වැව බවට පත් විය.
ඔන්න බලාපන් බුලතා කරපු බලේ
යතුරු දාපු ගල් දොර යට වතුර හැලේ
එන යන්නෝ ඉඩ නෑරම බැලුම් ගලේ
සොරබොර වැව නුදුටු ඇස් මොටද පින් කලේ
මේ ජන කවියද ඇත අතීතයේ සිටම වැව හා බැඳී පැවත එන්නකි.
සොරබොර වැවෙහි වත්මන් ඡායාරූප කිහිපයකි.(ඡායාරූප උපුටා ගන්න ලද්දේ ලෝවනය බ්ලොග් අඩවියෙනි)
අපේ කතාවට මුලික වෙන්නේ මහියංගණය ප්‍රදේශයයි. කාලය දුටුගැමුණු රජුගේ පාලන සමයතෙක් දිවයයි. වකවානුව දුටුගැමුණු රජු මහියංගණය අත්පත් කරගෙන මහියංගණ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරන සමයයි. මේ කාලයේදී රජුට බුලතින් සංග්‍රහ කිරීම සිදුකරන ලද්දේ කිරිපට්ටිය ගමෙන් තෝරාගත් පුරුෂයෙකි. මොකද්ද මේ බුලත් සංග්‍රහය? බුලත් සංග්‍රහය යනු දවසට 7වරක් බුලත් විට ඒදා රජුට පිළිගැන්වීමයි. උදේ ආහාරයෙන් පසු, දහවල් 10වෙනි පැයට (සිංහල පය ක්‍රමයට අනුව), දහවල් කෑමෙන් පසුව, සවස් වරුවේ අතුරුපසෙන් පසුව, තිස් පය වෙලාවට සන්ධ්‍යා පානයෙන් පසු, රාත්‍රී ආහාරයෙන් පසු සහ රාත්‍රී නිදා ගැනීමට පෙර. ඔන්න ඔය හත් වරයට බුලත්වලින් සංග්‍රහ කිරීම රජ කාලයේ බුලත් මෙහෙ වැඩිම නමින් තමා හඳුන්වලා තියෙන්නේ. ඔහුගේ මෙම මෙහෙය නිසා ඔහුට "බුලතා" යනුවෙන් නමක්ද පට බැඳිණි. [අද කාලේ වගේම තමයි ;) ].
ඔන්න එහෙනම් දන අපේ කතා නායකයා බුලතා. බුලතාට පුංචි පුරුද්දක් පැවතුණි. එක් බුලත් මෙහෙයකින් පසු අනෙක් මෙහෙය දක්වා කාලය තුල අවට ඇවිද වටපිටාව බලාකියා ගැනීම. ඔහොම ඇවිදගෙන යනකොට මහියංගණයේ උතුරු පෙදෙසේ ගල් කඳු දෙකක් අතරෙන් දොළපාරක් පහත් බිමක් ඔස්සේ ගලා යනවා දක්නට ලැබුණි. ඒ දුටු ඔහුට කඳු දෙක හරස්කොට වැවක් තැනීමේ අදහස පහල විය. එමගින් ගව් ගණනක කුඹුරු යායක්ම අස්වැද්දවිය හැකි බවද කල්පනා විය.බුලතා උදැල්ලකුත්, පස කුඩයකුත් රැගෙන සිය කටයුත්ත තනියම අරඹන ලදී. අත්තම්මා කිවූ පරිදි බුලතාගේ උදැල්ල සාමාන්‍ය මිනිසුන් දෙතුන් දෙනෙකු එක්ව එසවිය යුත්තකි. පස් පිරවූ කූඩයද ඊට නොදෙවෙනි නොවීය. එය එසවීමට මිනිසුන් විසිපස් දෙනෙකුවත් අවශ්‍යය විය. බුලතාගේ තරම හිතාගන්න පුළුවන් නේද?ඔහු පස් කපා කඳු 2ක අතර පුරවා ටික කලකින්ම වේල්ල බැඳ අවසන් කරන ලදී.කන්ද කෙලවර පිහිටි ගල් තලාව කපා හෙතෙම සොරෝව්වක්ද සාදන ලදී. වැව් වතුර බැස යාම සඳහා ගලෙහිම ජල පැන්නුමක්ද සාදන ලදී. ඔහු මේ සියල්ල කරන ලද්දේ සිය තනි ශ්‍රමයෙනි. ඔහුට උදව්වන ලද්දේ උදැල්ල, කූඩය, කටුව සහ මිටිය යන අචේතනික වස්තුන් 4 යි. අද කාලේ මෙවැනි වැවක් හදන්න ගියා නම් තත්වය කෙබඳු වෙයිද? වැව හදන වියදමෙන් බාගයක් විතර මුල් ගල තැබීමේ උත්සවයට වැයවනු නොඅනුමානය. ;)
බුලතාගේ බිරින්දෑ ද ඔහුට නොදෙවෙනි නොවීය. ඇය දිනපතා දිවා ආහාරය රැගෙන එනවිට හා යනවිට ගමන පහසුව සඳහා පඩි පෙළක් සෑදීමට සිතාගෙන යන එන ගමන් ගල් කැබලි ගෙනවිත් පඩි පෙළක් බැඳ ඇත. මේ දුටු බුලතා කඳු මුදුනට විශාල ගල ගෙනවිත් දමා ඒවා බැඳීමට භාර්යාවට පවරණ ලදී. බිඳෙන් බිඳ ජලය එකතුවී කළයක් ක්‍රමයෙන් පිරෙන්නාක් මෙන් ටිකෙන් ටික මේ පවුල් සංස්ථාවේ ඒකා බද්ධ ව්‍යාපෘතිය ද අවසන් අදියරට පැමිණෙන්නට විය. චෛත්‍යයේ අලුත් වැඩ කටයුතු නිම කරන විට ම ඊට සමගාමිව බුලතාගේ වැවත් නිම විය. චෛත්‍යයේ කොත පැළඳවීමේ කටයුතු නිමවූ පසු බුලතාගේ ආරාධනයෙන් දුටුගැමුණු රජු වැව් පොඩ්ඩ බැලීමට ගියේය. වැව දුටු රජු විස්මයෙන් ඇලලී ගියේ ය. මෙය බුලතාගේ ඒක පුද්හල නිර්මාණයක් බව දැක ඊටත් වැඩ පුදුම විය. බුලතාගේ හරබර වාරිකර්මාන්තයෙන් ඔහුගේ ශරීර ශක්තිය තේරුම්ගත් රජු හෙතෙම තම සේනාවට බඳවා ගන්නා ලදී.එලෙස තවත් එක් යෝධ පුරුෂයෙක් දුටුගැමුණු සේනාවට එක් වන ලදී.
එදා පටන් එම වැව "හරබර වැව" නමින් ප්‍රසිද්ධ විය. හරබර යන්න පසු කලෙක සරබර ද , සොරබර ද ආදී වශයෙන් උච්චාරණ පහසුව උදෙසා වෙනස් වී පසුව සොරබොර වැව බවට පත් විය.
ඔන්න බලාපන් බුලතා කරපු බලේ
යතුරු දාපු ගල් දොර යට වතුර හැලේ
එන යන්නෝ ඉඩ නෑරම බැලුම් ගලේ
සොරබොර වැව නුදුටු ඇස් මොටද පින් කලේ
මේ ජන කවියද ඇත අතීතයේ සිටම වැව හා බැඳී පැවත එන්නකි.
සොරබොර වැවෙහි වත්මන් ඡායාරූප කිහිපයකි.(ඡායාරූප උපුටා ගන්න ලද්දේ ලෝවනය බ්ලොග් අඩවියෙනි)
සොරබොර වැවෙහි පිටවාන |
සැන්දෑ කල සොරබොර වැව් ඉසමත්ත |
Wednesday, July 6, 2011
අඩ සඳ හා අටවක ලදිමි................
අත්තම්මාගෙන් ඇසු රසකතා තුලින් මේ කියන්න සුදානම් වෙන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ කුමාර අවධියෙන් සිදුවුන අප්‍රකට රසවත් සිදුවීම් ටිකකි.සියල්ලටම කළින් කවුද මේ තොටගමුවේ රාහුල හාමුදුරුවෝ කියන්නේ කියල දැනගෙන හිටියොත් හොඳයි නේද?
තොටගමුවේ රාහුල හාමුදුරුවෝ කියන්නේ කෝට්ටේ යුගයේ ලංකාවේ වැඩවාසය කල අතිදක්ෂ යතිවරයාණන් වහන්සේනමක් වන බව අප කවුරුත් දන්නා කරුණකි.උන්වහන්සේ ගිහි කල හැඳින්වුයේ දෙමටානේ ජයබාහු කුමාරයා නමින්ය.වික්‍රමබාහු ඇපාණෝගේත් කීරවැල්ලේ බිසවගේත් එකම පුතුය.කුමාරයා කුමාර සංධියේ පටන්ම ඉගෙනුමට ලැදි විය.වයස 10-12 වෙනකොටම අභිධර්ම පිටකයේ අඩක්ද,සියබස්ලකර,කාව්‍යා දර්ශකය මුළුමනින්ම ද කටපාඩම් විය.නගන තර්ක විතර්කවල ද කෙළවරක් නොමැත.මුන්වහන්සේගේ කේන්ද්‍රය ද ප්‍රබල විය.එහි මහණ වුවත් රජකම් කරන බව සඳහන් වුවාලු.පසුව එය සත්‍ය විය.ඒ පිළිබඳව ද රසකතා අහුරකි :ඩී. අපි පසුව හිමින් සීරුවේ ඒවා රසවිඳිමු :ඩී.කුඩාකලම කීරවැල්ලේ බිසව මියයැමෙන් ද වික්‍රමබාහු ඇපාණෝ කලකිරී මහණ වීමෙන්ද තනි වූ දෙමටානේ කුමරු vi පරාක්‍රමබාහු රජුගේ පුත් තනතුරෙහිලා වැඩෙන්නට විය.කීරවැල්ලේ කුමරිය රජ බිසවගේ අක්කණ්ඩිය වීමද රජුට ගැහැණු දරුවන් පමණක් සිටීමද මෙයට තවත් හේතුවක් විය.දැන් දෙමටානේ කුමාරයා ගැන ඇති පදම් දැනගත්ත බැවින් අපි කතාවට හැරෙමු.
එදා පොහෝ දිනකි.රාජකීයයන්ගේ සිරිත පෝ දිනට උදෙන්ම දළදා සමිඳු වැඳ පුදා ගැනීමයි.එදිනත් සුපුරුදු පරිදි රජවාසල ඇත්තෝ දළදා සමිඳු වැඳ පුදා එන අතරමග දෙමටානේ කුමාරයා සුළු මවගෙන් අවසර ගෙන තමන් පෙර දා හදාළ පොතක ඉතිරිය කියවීමට විදාගම මෛත්‍රී හිමියන්ගේ ආරාමයේ රැඳුනි.
බැහැර පන්සලක ඇබිත්ත කොලුවෙක් විදාගම හාමුදුරුවන්ට දාන උපකරණ භාර දීමට පැමිණෙන්නේ ඔය අතරදීය :).හිමියන් නැති බව දැන ,ගෙන ආ දේවල් කනප්පුව මත තබා පුස්කොළ කැබැල්ලක් කුමාරයා අත තැබීය.එහි ලියා තිබුණේ......
"පුරසඳ සහ දසවක එවමි ,
පිළිගනු මැනවි. " යනුවෙනි.
ඇබිත්ත කොලුවාට මදක් රැඳෙන්නට උපදෙස් දී කුමාරයා ගෙනා දේවල් පිරික්සන්නට විය.කෙසෙල් ගෙඩි 8ක ඇවරියකුත් මී කිරි හට්ටියකින් අඩකුත් එහි විය.මදක් කල්පනා කොට කුමරු මදහසක් පා වීදාගම නා හිමියන් වැඩමකරන තෙක් නොසිට කොලුවාට පුස්කොළ කැබැල්ලක යමක් ලියා දී ඇබිත්ත කොලුවා පිටත්කර තමන් මාලිගාවට ගියේය.එහි ලියා තිබුණේ,
"අඩ සඳ හා අටවක ලැබිණි ,
පින් දෙමින් භාර ගතිමි." යනුවෙනි.
එදින හවස් වරුවේ වීදාගම හිමියන් විවේක සුවයෙන් පසුවෙද්දී උන්වහන්සේ වෙත අඬා ගෙනා වැඳ වැටෙමින් පැමිණෙන කොලුවෙකි.විදාගම හිමියන්ට ගෙනා ආ කිරිහට්ටියකින් භාගයකුත් කෙසෙල් ගෙඩි 10න් 2කුත් මගදී හොරා කෑමට සමාවදෙන මෙන් මරලතෝනි ගසමින් අඬයි.වීදාගම හිමියන්ට මෙය මහත් ප්‍රේහෙලිකාවකි .
"තෝ මගදී හොරා කෑ බව ලොකු හාමුදුරුවෝ දන්නේ කොහොමද ?" හිමි ඇසුවේ ය.
"මම මේවා ගෙනෙද්දී මෙතන හිටි කුමාරයට ඔන්න ඔය කනප්පුව උඩ තියන ලොකු හාමුදුරුවෝ දුන්න පුස්කොළ කැබැල්ල දුන්න.එක කියවල කුමාරයා මට මෙන්න මේ පුස්කොළ කැබැල්ල දුන්න ලොකු හා මුදුරුවන්ට දෙන්න කියල.මම එක ගෙනිහින් ලොකු හාමුදුරුවන්ට දුන්න.ඔන්න ඔච්චරයි හාමුදුරුවනේ සිද්ද උනේ.එක දැකපු ලොකු හාමුදුරුවෝ මට නොසහෙන්න තලලා ගිහින් වීදාගම හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලගෙන වර කිව්වා."යනුවෙන් ඇබිත්තයා පැවසුවේ ය.
පුස්කොළ දෙකම ගෙන බැලු වීදාගම හිමියන්ට කාරණය වැටහී මුවට සිනහවක් නැගිණි.කුමරුගේ තැනට සුදුසු නුවණ හා බුද්ධි මහිමය ගැන උන්වහන්සේ සතුටට පත්විය.(පුස්කොළ 2හි තිබ්බ දේ ඔයගොල්ලොන්ටත් වැටහෙන්න ඇතැයි සිතමි ;) :ඩී .)
අපි කවුරුත් පොඩි කාලේ අහපු කවියක් තමයි මේ,
" මා වැනි බිළින් දා
වර වර ළඟට කැන් දා
දුක් සැප කුමන් දා
අසන නිරීඳෝ වෙන කොයින් දා ?"
මේක කිව්වේ කවුද කියල දන්නව ද ?ඒක කිව්වෙත් දෙමටානේ කුමාරයම තමයි.ජයබාහු කුමාරයා ළදරු වියේ සිටියදී දෙමටානට ගිය පරාක්‍රමබාහු රජතුමා කීරවැල්ලේ කුමරිය හමුවී අසල සිටි කුමාරයාගෙන් ද සුවදුක් විමසා ඇත.කුමාරයාගේ පිළිතුර වූ කදිම සිව්පදය තමයි ඒ.....:ඩී
ජයබාහු කුමාරයා ගැන තවත් රසකතා ගොන්නකි.ඒවා රස විඳින්න ඉදිරි ලිපියකින් හමුවෙමු.
(කතාව ගැන ඔබේ අදහස් පහතින් සටහන් කරන්නේ නම් ස්තුතිවන්ත වෙමි.)
Sunday, July 3, 2011
ජන සාහිත්‍යයේ අප නොදුටු ඇතුළාන්තය..................
ලාංකික අපට නම් ජන සාහිත්‍යය,ජන කතාව පුංචි සංධියේ පටන්ම සමීප වන්නකි.අත්තම්මාගේ උකුළේ ඉඳගෙන තාලෙට පැද්දෙමින් "අන්දරේ සීනි කෑ හැටි,වැල කෑ පබිලා,දුටුගැමුණු කුමාරයා යුද්ධ කල හැටි,ගෝඨයිම්බර මහසෝන් සටන,නීල මහා යෝධයා වැලි මිරිකා වතුර ගත් හැටි" යනාදී කතා ඇසු හැටි තාමත් මතකය.ඒ අප කුඩා කාලයේ සිටම ජනකතාවේ මිහිර විඳි අයුරු ය.වීරයන්ගෙන්ද,දුෂ්ටයන්ගෙන්ද,ශාන්තුවරයන්ගෙන්ද විටින් විට පොහොසත් වූ ජන සාහිත්‍යය සමාජයට සදුපදේශ ලබා දෙන ප්‍රධාන මාධ්‍යයක් විය.මෙම ජනකතා ඉදිරි පරම්පරවන් සඳහා දායාද කිරීමෙහිලා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලද්දේ පවුල් වල සිටින වයසින් මුහුකුරා ගොස් සිටි සාමාජිකයන් වන අත්තම්මා සහ සියා ය.බහුතරයක් ජනකතා හුදු අතිශයෝක්තියක් ම පමණකැයි සිතා බොහෝ පිරිස් ඒවා අවඥාවෙන් බැහැර කරන ලදී.එහෙත් කුඩා අපට නම් ඒවා වින්දනීය ලෝකම විය.එළාර දුටුගැමුණු සටන,උන්මාද චිත්‍රාවන්ගේ රුපශ්‍රියේ විභූතිය සිත්හි මැවෙන්නට විය.සිගිරිය වූ කලී දැන් නටබුන් ගොඩක් පමණක් වුවද කුඩා කල මට එය සව්සිරියෙන් සපිරි රාජධානියක් විය.රජ මාලිගයේ මහේශාක්‍ය බව,සිංහ සෝපානයේ ඔබමොබ මනැසින් දිව ගිය අයුරු,කුට මස්තකයෙහි පොකුණුවලින් මනැසින් දියබුං ගසා නාපු හැටි ,රාවණා රජුගේ දඬුමොනරෙන් රවුමක් ගියපු හැටි ජනකතාව පුංචි අපට කොතරම් සමීප වුවාදැයි මොනවට පැහැදිලි කරත්ද?එය එතරම්ම රසවාහිනියක් විය.අපේකම,අපේ උරුමය සහ සදෙව්ලොව අපාය පිළිබඳ හැඟීම් කුඩාකල සිටම අප පවින් වලකා ජාතිමාමක අදහස්වලින් පෝෂණය කරන්නට විය.වර්තමානයේ සිට එකළ දෙස හැරී බලනා විට අපේ ජිවිත ජනකතා කරුවා විසින් නොදැනෙන සත්‍යයකට ඉබේටම තල්ලු කොට ඇති බවක් හැඟී යයි.එය එතරම්ම ප්‍රබල මාධ්‍යයක් විය.
මා දන්නා පරිදි ලොව විශාලතම සුරංගනා කතා සාහිත්‍යය ඇත්තේ රුසියාවේ ය.ලස්සන වසිලිස්සා ,බබායිගා යකින්න,ඉවාන් කුමාරයා ලාංකික අපටද සමීප ය.මේ මහා සුරංගනා කතා සම්ප්‍රදාය තුල ඔවුන් කරන ලද්දේ රුසියන් ළදරුවා කුඩා කල පටන්ම අරුම පුදුම දේ කරන,පියාඹන තනියම සත්සමුදුරු තරණය කරන මිනිස්සු ,අරුම පුදුම යන්ත්‍රසුත්‍ර වෙත සමීප කරවීමයි.මේ පිළිබඳව සිතන්නන නැඹුරු කරවීමයි.මේ තුලින් ළමයාගේ නිර්මාණශිලිත්වය,උසස් පරිකල්පන හැකියාව ඉබේම දියුණුවන්නට ඉඩහරින ලදී.එහි ප්‍රතිපලයක් ලෙස රුසියානුවෝ පසුකලෙක නව තාක්ෂණය ඇති නවීන යන්ත්‍රසුත්‍ර ලොවට දායාද කල පුරෝගාමීන් විය.අපේ ජන සාහිත්‍යයෙන්ද මේ සා විශාල සංස්කෘතික සේවයක් අප ජන සමාජයට අතීතයේ සිටම සිදුකර ඇත.පව පින වෙන්කරදී යහපත් ජිවන රටාවක් යනු කුමක්ද වෙද හෙද කම්ද කවියෙන් හා කතානුසාරයෙන් සමාජගත කර ඇත.
ජනකතා සාහිත්‍යය මුඛ පරම්පරාගතව පැමිණියද කර්තෘ අඥාත වුවද එය ලිඛිත සාහිත්‍ය සම්ප්‍රදායක් තරමටම එය ප්‍රබල වන්නේ ය."මිනිස් සිතෙහි ස්වරුපය නිරුපණය කිරීමෙහිදී ජනකතාව තරම් ප්‍රබල සාහිත්‍ය මාධ්‍යයක් මෙතෙක් ලොව පහළව නැත " යන්න ජනශ්‍රැති විශේෂඥයින්ගේ අදහස ය.මානුෂ පැවැත්මේ සංකීර්ණත්වය පිළිබඳ එහි ව්‍යංගයත් ,ප්‍රකාශන විලාසයත් සාහිත්‍යය නිර්මාණ කෙරෙහි අභාසය සපයන්නක් බව ස්ටිත් තොම්සන් පෙන්වා දෙයි.විද්‍යා තාක්ෂණික මාධ්‍යයන් මගින් මිනිස් ජිවිත කෙරෙහි සිදුකර ඇතිබලපෑම් කොතරම් විචිත්‍ර ද එතරම් විචිත්‍රත්වයක් හා ගැඹුරක් ලෝක සමාජ විෂයෙහි ජනකතාව සිදුකර ඇතැයි යන්න පිළිගත් මතයකි.
ලෝකයේ සෑම රටකටම තම රටට අනන්‍ය වූ ජනකතා සම්ප්‍රදායක් ඇත.බුරුම ජනකතා,සියම් ජනකතා,චීන,ඉන්දියානු හා මොන්ගෝලියානු වශයෙන් අප ද ඒවා රස විඳ ඇත.ජන කතා ,ජන සංගීතය,ජනකවි,ජන නාට්‍ය ආදිය මෙන්ම ජනශ්‍රැති ගණයෙහිලා සැලකෙන විවිධ යාතු කර්ම ඇදහිලි විශ්වාස ආදියද ජන සාහිත්‍යයෙන් අප ලද උරුමය වේ.ඒවා එලෙසම අනුකරණය අනපේක්ෂිත අතර ඒ තුළින් හෙළි කරන පුරුෂාර්ථ හා සාරධර්ම අපට වැදගත් වේ.
ඓතිහාසික වෘත්තාන්ත ජනශ්‍රැති අතර කැපිපෙනෙන භූමිකාවකි.වසර දෙදහස් පන්සියයකට නොඅඩු ලිඛිත ඉතිහාසයක් මහාවංශය තුළින් අපට දායාද වී ඇත.නමුත් මෙම ජනශ්‍රැති තුළින් ඊටත් එහා ගිය ඉතිහාසයක සුන්බුන් අපහට ගෙනහැර දක්වයි.මනු රාජවංශය,හෙළ අසුර රාජවංශය ගැන පවතින ජනකතා ඊට උදාහරණ සපයයි.එපමණක් නොව මහාවංශය තුල නොමැති එහෙත් ඉතා වැදගත් ඓතිහාසික සිද්ධි ආශ්‍රිත තොරතුරු බොහොමයක් කාලයේ වැලිතලාවට නොයට වී තවමත් ශේෂව ජනකතා තුල පවතී.බ්‍රිතාන්‍ය යුගයේදී අපගේ ඉතිහාසය නැවත ලිවීමේදී (1912 දී පමණ කොඩ්රින්ටන් ,බෙල්)ජනකතා තුල වූ ඓතිහාසික තොරතුරු ඉවතලන ලද්දේ ඒවායේ පිළිගත හැකි මට්ටමේ සාක්ෂ්‍යමය වැදගත් කමක් නැතැයි කියමිනි.එහෙයින් අප වර්තමානයේ ඉගෙන ගනු ලබන්නේ පෙරා දෙනු ලැබූ ඉතිහාසයක් පමණි.එහෙයින් ලිඛිත ඉතිහාසයෙන් නොකියවෙන බොහෝ සත්‍ය ඓතිහාසික සිදුවීම් අපෙන් දුරස් වන්නට විය.එය අපගේ ආකල්පමය වෙනසක් ඇතිවීමටද වක්‍රව බලපාන ලදී.ඒ සඳහා පුංචි උදාහරණයක් ගෙනහැර දැක්වීමට කැමැත්තෙමි.ඔබෙන් හෝ වත්මන් පාසැල් සිසුවෙක්ගෙන් "දුටුගැමුණු රජතුමා සහ කාවන්තිස්ස රජතුමා යන දෙදෙනාගෙන් කවුද වඩා වීරයා ?"
කියා ඇසුවිට දෙන පිළිතුර කුමක්ද?එය නිසැකවම දුටුගැමුණු රජතුමා වේ.නමුත් මෙම ප්‍රශ්නයම 1960-1970 වැනි කාලයේ අම්පාර,පානම,අනුරාධපුරය වැනි ගම්බද ප්‍රදේශයක ජිවත් වූ ගොවියෙක්ගෙන් ඇසු විට ඔහු දෙන පිළිතුරෙන් ඔබ පුදුමයට පත්වනු ඇත.ඔහු කියනුයේ කාවන්තිස්ස රජු කියාය.මේ පිළිතුරු 2හි වෙනසට හේතුව ඔහු අපට වඩා ජන කතාවෙන් පෝෂණය වුවෙක් වීමයි.අප පාසැල් අධ්‍යපනයෙන් ඉගෙනගනු ලබන්නේ සීමිත ලිඛිත ඉතිහාසයකි.අද පරපුරට ජනශ්‍රැති සම්බන්ධ දැනුම අල්පය.ජනකතා සාහිත්‍යය තුළින් ඉස්මතුවන කාවන්තිස්ස රජුගේ දුර දක්නා නුවණ ,අප්‍රතිහත ධෛර්යය ,සැලසුම් සහගත බව ,ආදරය ,සෙනෙහස ,කරුණාව ,ඉවසීම වැනි ගුණාංග බොහොමයකි.හෙතෙම තම පුතුට යුද්ධ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරනලද්දේ පුතු ඉපදීමටත් ප්‍රථම සිටය.කෙත්වතු අස්වද්දවා අටුකොටු පුරවා ,අවි ආයුධ කම්හල් පිහිටුවා,ඉලංගම් මඩු අලුතින් අරඹා ,දක්ෂ ශක්තිමත් තරුණයන් සේනාවන්ට බඳවා ගනිමින් සේනා සංවිධානය කරමින් පෙරසිට ම තම පුත් ගැමුණු කුමාරයට එළාරට එරෙහිව යුද්ධ කිරීමට අවශ්‍ය වපසරිය ක්‍රමානුකුලව දුරදිග බලා දීර්ඝ කාලයක සිටම සැලසුම් කරන ලද්දේ ය.ගැමුණු කුමරු නිසි වයසට එත්ම යුද්ධයට සියල්ල සුදානම්ය.මෙසේ බලනා විට ඇත්තෙන්ම කාවන්තිස්ස පියරජු කෙතරම් වීරයෙක්ද යන්න මොනවට පැහැදිලි කරයි.මෙවැනි බොහෝ කරුණු අප අතරින් වියැකෙමින් පවතී.මේ එක උදාහරණයක් පමණි.
මහාවංශය ,දීපවංශය,ථුපවංශය ,ධාතුවංශය ,රසවාහිනිය ආදී අපේ වංශකතා මෙන්ම වෙනත් ඓතිහාසික හා අර්ධ ඓතිහාසිකකෘතිවල වුවද ජනකතාවේ බිජ අවස්ථා දැකිය හැකිය.මේසා වටිනා ජන කතා සාහිත්‍යය පිළිබඳ අප මදක් හෝ දැනුවත්ව සිටීම එම සාහිත්‍යයේ පැවැත්මට පොඩි හෝ තල්ලුවක් විය හැකි ය.
අත්තම්මාගෙන් ඇසු රස කතා තුළින් ඉදිරි ලිපියකින් හමුවෙමු.....................
(ලිපිය සම්බන්ද ඔබේ අදහස් පහතින් සටහන් කරන්නේ නම් ස්තුතිවන්ත වෙමි.)
Wednesday, June 22, 2011
බදුල්ලට ගිය දුම්රිය සවාරිය..........
කලක පටන් සිත් තුළ නළියමින් පැවති කඳුකරය පැත්තේ රවුමක් ගැසීමේ ආශාව පසුගිය සතියේ මල් ඵල ගැන්විණි.මේ සටහන ඒ පිළිබඳවයි.
අප නව දෙනෙක් ගුරුදා උදේ පාන්දර පොඩිමැණිකේ දුම්රියෙන් බදුල්ල බලා පිටත් විය.නවය නපුරු වුවද අපට නම් එය වාසනාව ගෙනදුණි.:ඩි :ඩි .දුම්රිය සේවයේ වූ අකාර්යක්ෂමතා
නිසා අපට සුළු සුළු අකරතැබ්බයන්ට මුහුණ පෑමට සිදු විය.නමුත් සමස්තයක් ලෙස ගත විට එය විනෝද බර එකක් විය.
පාන්දර 4 සිට කොටුව දුම්රිය පොළේ රැඳී සිට 5ට පමණ පැමිණි දුම්රියට අපි ගොඩ වුනේ රිසිසේ යෑමට දෙවන පන්තියේ එකළඟ අසුන් කිහිපයක් අල්වා ගැනීමටය.එහෙත් මහත් අභාග්‍යයකි.දුම්රිය පරිපාලන නිලධාරීන්ගේ ස්ථානෝචිත ක්‍රියාකලාපයන් නිසා පොඩිමැණිකේ දුම්රියේ දෙවැනි පන්තියේ මැදිරි යොදා තිබුනේ 2කි.:ඩි :ඩි.දෙවැනි පන්තියේ ප්‍රවේශ පත්‍ර ලබා තිබු මගීන් මැදිරි 4 කට සෑහෙන පරිදි සිටියද කුමක් කරන්නද?ඔවුන් සියල්ලටම සිදු වුයේ වැඩිපුර මුදල් ගෙවා අවසානයේ 3 වෙනි පන්තියේ යාමටය.මෙය දුම්රිය සේවයේ ගුණාත්මක භාවයට එල්ලවූ තද බල පහරකි.අපටද කරන්නට දෙයක් නුහුයෙන් අපිද 3 වෙනි පන්තියේ මැදිරියකට සේන්දු වී හරිබරි ගැසී වාඩි වීමු.මෙම දුම්රියේ 3 වෙනි පන්තියේ මැදිරිද තිබුනේ 4 ක් හෝ 5ක් පමණි.:ඩි :ඩි.මෙය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පොඩිම පොඩි මැණිකේ කෙනෙක් විය. :ඩි .දුම්රිය බලධාරීන් මිට වඩා වගකීමෙන් කටයුතු කරන්නේ නම් මැනවි යැයි අපට සිතුණි.මන්ද කොළඹ - බදුල්ල දුම්රිය ගමනට අවම වශයෙන් පැය 10 කට වඩා ගත වේ.මෙවැනි දිගු ගමනක යෙදෙන මගීන්ට සැප පහසුව,සනීපාරක්ෂාව අත්‍යවශ්‍යයි.එය ගෙවන ප්‍රවේශ පත්‍ර මිලට සරිලන පරිදි සැපයිය යුතුය.නමුත් මෙම දුම්රියේ පැවති ජල පහසුකම්,වැසිකිලි පහසුකම් දියුණු ජන කොට්ටාශයකට කිසිසේත් ගැලපෙන්නේ ද ප්‍රමාණවත් වන්නේ ද නැත.නවීන පහසුකම් වලින් යුතු තව මැදිරි කිහිපයක් වත් මෙම දුම්රියට එක්කරන්නේ නම් එය දුම්රිය සේවයේ උන්නතියට හේතුවනු නොඅනුමානයි.
කෙමෙන් කෙමෙන් දුම්රිය ඇදීයත්ම තැනිතලා මිටියාවත් අපට සමුදෙන්නට විය.ඒ වෙනුවට අපි පිළිගැනීමට අභිමුව පැමිණියේ අහස සිඹින ගිරි කඳුරුය.දේශගුණ විවිධත්වය මැනවින් කියාපාන ක්‍රාන්ති කලාපද පසුකරමින් ඇදුන දුම්රිය ගමන අහ්ලාදජනක විය.ගත දැවටෙන සීත සුළඟ,සෞම්‍ය වටපිටාව මනෝරම්‍ය විය.මේ සියල්ල පරදන අප සගයන්ගේ සුමියුරු ගී නාදය වඩාත් නන්දනීය විය.දුම්රිය හඬ පරදන කෞශාන්ගේ හා ගලේ අයියගේ බොංගෝ වාදනය දුම්රිය මැදිරියේ සිටි මගීහු එකම රිද්මයකට අනුගත කරවන ලදී.ගමන මද දුරක් යන විට මැදිරියේ උන් මගීහු සියල්ලෝම අපේ ගී රාවයට අත්වැල් අල්ලන්නට වුහ.ඒ අතර මැදිරියේ උන් ගිටාරයක් අතින් ගත් අයියා කෙනෙකුද අපේ සින්දු වලින් ඔද වැඩි ගිටාරය වයමින් අප සමග එක් විය.එය පුරා පැය 3 ක් තිස්සේ නන්දනිය පැදුරු සාජ්ජයක සිරි ගති.සැබවින්ම එය ආනන්දජනක ඇරඹුමක් ම විය.
අපට දහවල් පාතරාසය මතක් වන්නටවුයේ කුසගිනි දැනෙන්නට වූ විටය.සවස 4 දක්වා ගමන දික්වන බැවින් දුම්රිය ආපනශාලාව අප පිහිටට සිටි එකම හිතවතා විය.අහෝ!!!ඛේදයකි.නැවත වරක් දුම්රිය පරිපාලනයේ අකාර්යක්ෂමතාවය මතුව එයි.මෙහි පැවති ආපනශාලාව දීර්ඝ ගමනකට කිසිසේත් උචිත එකක් නොවිය.එහි ආහාරපාන තිබුනේ සීමිත ප්‍රමාණයකි.ඒවා පිරිසිදු බවින් තොර මෙන්ම මිලෙන්ද අධික විය.මෙය මහත් ලජ්ජා සහගත සුරා කෑමකි.දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් සිටි මේ දුම්රියේ ,දුම්රිය බලධාරීන් ඔවුනට අවශ්‍ය අවම පහසුකම්වත් සලසා තිබුනේ නැත.ප්‍රවේශ පත් මුදල් වලට නිකුත් කරන විට අයකරගන්නා මුදලට සරිලන ලෙස පහසුකම් සැපයීමට දුම්රිය දෙපාර්තමේන්තුව බැඳී නොසිටින්නේද?රුහුණු කුමාරිය මෙන්ම පොඩි මැණිකේට ද හැඩ වැඩ දමා ඔසරියක් අන්දවා ගන්නේ නම් දුම්රිය දෙපාර්තමේන්තුවට ඉන් ඉමහත් ලාභයක් ලැබිය හැකි වනු නොඅනුමානය.මෙවැනි අඩුපාඩු මගහරවා ගැනීම රටේ සංවර්ධනයට ද එක් පසෙකින් දායක වේ.
මෙසේ පුරා පැය 10 කට අධික කාලයක් සොබාසිරි විඳිමින් යෙදී දුම්රිය ගමන සවස 4.30 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් අවසන් විය.
(දුන්හිඳට ගිය සවාරිය පිළිබඳව ඊළඟ ලිපියෙන් හමුවෙමු..........)
Friday, June 10, 2011
කෙටි කතාව කියන්නේ මොකක්ද?
අපට ලැබුණ දිගු නිවාඩුව නිසා කාලය ගෙවා දැමීමේ අදහසින් පතපොත කියවීමටතිබුන නැඹුරුව වැඩිවීම මේ ලිපියේ නිමිත්ත විය.ලඟදි කියවන්නට ලැබුණ පෙර අපර දෙදිග කෙටි කතා සමුහයක් නිසා කෙටිකතාව යනු කුමක්දැයි විමසා බැලීමට සිත් විය.මොකද අද බහුතරයක් පිරිස පොත් කියවනුයේ කියවන්නම් වාලේය.කෙටිකතාව සහ නවකතාව අතර වෙනස ,ඒවායේ ව්‍යුහය ගැන නිසි අවබෝදයක් නොමැත.එසේනම් කෙටිකතාවක් කියන්නේ මොකක්දැයි කියා අපි විමසා බලමු.
ශ්‍රී ලාංකික අපිට නම් කෙටිකතාව කියූ සැණින් ඊළඟට සිතට නැගෙන හුරුපුරුදු නම් කිහිපයක් නම් මාර්ටින් වික්‍රමසිංහ,ජි.බි.සේනානායක,කේ.ජයතිලක,ගුණදාස අමරසේකර,මඩවල.s.රත්නායක,ඩබ්ලිව්.ඒ.සිල්වා ය. මන්ද ඔවුන්ගේ නිර්මාණ එතරම්ම ලාංකික සාහිත්‍යයට සමීප නිසාවෙනි.වික්‍රමසිංහයන්ගේ ගැහැණිය(1924),මගුල් කෑම හා වෙනත් චරිතාදර්ශ කතා,පවුකාරයාට ගල්ගැසිම(1936),බිල්ල සහ අපුරු මුහුණ(1945),මගේ කතාව,වහල්ලු.ජි .බී.සේනානායකයන්ගේ දුප්පතුන් නැති ලෝකය(1945),පළිගැනීම(1946),මිතුරිය(1961),ගමන(1983)ද කේ.ඩි.පි.වික්‍රමසිංහගේ විවාහය,රසවිඳීම,පණිවිඩය,තරු එලිය ද ඩබ්ලිව්.ඒ.සිල්වාගේ දෙයියන්ගේ රටේ සහ තවත් කතා,ජෙනීගේ කතාව හා තවත් කෙටිකතා,ලේන්සුව හා තවත් කතා ශ්‍රී ලාංකික කෙටි කතා සඳහා උදාහරණ වේ.
එලෙසම නුතන විශ්ව කෙටිකතාවේ පුරෝගාමීන ලෙස 19 වන සියවසේ එඩ්ගා ඇලන් පෝ (1809-1849),රුසියාවේ ඇලෙක්සැන්ඩර් පුෂ්කින්(1991-1837)සඳහන් කල හැකිය.ඉන්පසු එළඹෙනුයේ රුසියානු නව සම්ප්‍රදායේ පුරෝගාමිය වූ නිකොලයි ගොගොල්ගේ සමයයි.දොස්තෝවොස්කි නම් රුසියානු මහා නවකතා කරු "අපි සියල්ලෝම ගොගොල්ගේ හිම කබායෙන් උපන්නෙමු"යයි කීම තුලින් ගොගොල්ගේ මැදිහත්වීමේ තරම අපට ගම්‍ය වේ.ඇමරිකාවේ වොෂින්ටන් අර්වින්,නැතනියෙල් හෝතොන්,හර්මන් මෙල්විල් ආරම්භයේදී කෙටි කතාවේ වර්දනයට දායක වුවෝය.ජර්මනියේ ජොහාන් වොල්ෆ්ගන්ග් වොන් ගතේ,ප්‍රංශයේ මාගරිට් කුමරිය,පීරු රටේ රිච්දෝ පැල්මා,ගෝතමාලාවේ රැපායෙල් කෙටිකතා කලාව තුල පතාක යෝදයන් වුහ.ගී ද මෝපසාන්ගේ මාලය(The Necklace),ගොවිපලේ දැරියකගේ කතාව (The Story of a farm),ලණු කැබැල්ල(The Piece of String) අපට හුරුපුරුදු උසස් බටහිර කෙටිකතා ය.තවද ගොගොල්ගේ හිම කබාය(Overcoat),පිස්සෙකුගේ දිනපොත(The diary of a madman),චෙකොෆ්ගේ හයේ වාට්ටුව(Ward no 6),ගුසෙෆ්(Ggoussiev) පරසිඳු කෙටි කතාවන්ය.
කෙටිකතා කරුවන් හා කෙටිකතා පිලිබඳ දීර්ඝ විස්තර අනවශ්‍ය යැයි සිතමු.අපි පසු දිනක කෙටිකතාවේ ඉතිහාසය හා විකාශනය පිළිබඳව වෙනත් ලිපියකින් විමසා බලමු.මෙලෙස පෙරාපර දෙදිග කෙටිකතා කරුවන් හා ඔවුන්ගේ නිර්මාණ පිලිබඳ මතක කර දෙන ලද්දේ ඒවා රස විද ඇත්නම් නැවත ආවර්ජනය වීම උදෙසාය.
කෙටි කතාව යන නමෙහි "කෙටි" යන පදයෙන්ම කෙටිබව ගම්‍ය වේ.එනම් කෙටි කතාවක තිබිය යුතු ප්‍රධාන ලක්ෂණය වන්නේ කෙටි බවයි.කෙටි වූ කතාව කෙටි කතාව ලෙස නිර්වචනය කල හැකිය.කතාවක් කෙටි වූ පමණින්ම එය කෙටි කතාවක් වන්නේ නැත.මන්ද කෙටි බව යන්න කෙටි කතාවක් වීමට ප්‍රමාණවත් මිනුම් දණ්ඩක් නොවන හෙයිනි.කෙටි කතාවකට ඒකීය ධාරාණාවක් නැති නම් කේවල ඵලාප්තියක් තිබිය යුතුය.එනම් කෙටි කතාව ප්‍රධාන වශයෙන් කිසියම් ප්‍රස්තුත කරුණක් මුලික කර ලියවුණු ,වැල්වටාරම් වලින් බැහැර වුණු ඒකීය භාවයෙන් යුත් කතා විශේෂයක් බව කිව හැකිය.මෙය තව දුරටත් විස්තර කරන්නේ නම් ඒකීය ධාරණාවෙන් යුත් කෙටි ගද්‍ය අඛ්‍යානය කෙටිකතාවයි.එක් ප්‍රබල චරිතාන්ශුවක් හෝ ප්‍රබල සිද්ධියක් හෝ අවධානයට ගනිමින් ඒවාට රාශිභූත වූ ඒකීයත්වයක් ලෙස ඒකීය ධාරණාව හැඳින්විය හැකිය. ඒකීය ධාරණාව(Unity of Impression) කෙටි කතාවක තිබිය යුතු මුලික අංගයන් ලෙස බහුතර විචාරකයන් පෙන්වා තිබේ.
කෙටි කතාවක් යන්න කුමක්දැයි තේරුම ගැනීමට අපිට "ජෝසෆ් බර්ග් එසන්වින්ගේ" අර්ථ දැක්වීම වැදගත්ය.ඔහුට අනුව කෙටි කතාවක මුලික ලක්ෂණ 7 කි.
- සංග්‍රහ වන සිද්ධි අතුරෙන් ඒ හැමෙකක්ම අභිබවා යන ප්‍රබල සිද්ධියක් තිබීම.
- ඉස්මතුවී තිබෙන එක් ප්‍රධාන චරිතයක් සිටීම.
- සත්‍ය කතාවක් නොව කල්පිත කතාවක් වීම.
- කතා වින්‍යාසයක් තිබීම.
- විස්තීරණත්වයෙන් තොර වීම.
- සංවිධානාත්මක වීම.
- ඒකීය ධාරණාවක් තිබීම.
"කෙටි කතාව වූ කලි අනෙක් සියලු සිද්ධීන් අභිබවා සිටින එක් ප්‍රබල සිද්ධියක් ඉස්මතු වී පෙනෙන එක් ප්‍රධාන චරිතයක් අනාවරණය කරන්නා වුද,මනා අවයව සංවිධානයක් ඇත්තා වුද,ඒකීය ධාරණාවකින් යුක්තවුද කෙටි කල්පිත ආඛ්‍යානයකි"
මෙහිදී මුලික වන්නේ සියල්ල අභිබවයන සේ එක් ප්‍රබල සිද්ධියක් එනම් ඒකීය ධාරණාවක් පැවතීමයි.යථාර්තයෙන් උකහාගත් යම් ප්‍රමාණයක් සහ සිතුවිලි තුල ගොනු වූ යම් දෙයක් සංයෝග කර වඩා සාර්ථක කල්පිතයක් බිහි කරගත හැකිය.එය පරිකල්පනයකි.තවද ප්‍රබල කහ වින්‍යාසයක් තිබිය යුතුය.පාටක ආකර්ෂණය කෙරෙහි කතා වින්‍යාසය තදින්ම බලපායි.එලෙසම කෙටි කතාව අනවශ්‍ය ලෙස දික් නොවිය යුතුය.එනම් විස්තීරණත්වයෙන් තොර විය යුතුය.කෙටි කතාව සංක්ෂිප්ත විය යුතුය.අනවශ්‍ය විස්තර,සිද්ධීන්ගෙන් තොර විය යුතුය.කාලය හා අවකාශයට අනුව ගැලප ගැනීම සහ කතා අවයව යථා පරිදි ගැලප ගැනීම සංවිධානාත්මක වීම යන්නෙන් අදහස් කෙරෙයි.
කෙටි කතාවක් රසවිඳීම,ලිවිම,හඳුනා ගැනීම හෝ විචාරයේදීත් එහි දෘෂ්ටි කෝණය ප්‍රධාන මෙහෙවරක් ඉටු කරයි.දෘෂ්ටි කෝණය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය.
- උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය.
- ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය.
ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණය යනු ඔහු හෝ කෙනෙක් විසින් කතාව ඉදිරිපත් කිරීමයි.ගුණදාස අමරසේකරයන්ගේ රතුරෝස මල කෙටිකතා පොතේ "බයිසිකලය" ඊට කදිම උදාහරණයකි.එහි කතානායකයා සියදොරිස් ය.ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණය උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයට වඩා පුළුල් අවස්ථා නිරුපන දැක්වීමට යොදා ගනී.ලේඛකයාගේ අධිකාරිත්වයෙන් තොරව කතාව ඉදිරිපත් කිරීමක් ලෙසද සැලකිය හැකිය.මීට අමතරව සර්වවේදී දෘෂ්ටි කෝණය හා නාට්‍යමය දෘෂ්ටි කෝණය යනුවෙන් තවත් දෙවර්ගයක් ඇත.දැන් දෘෂ්ටි කෝණය යනු කුමක්දැයි පැහැදිලි යැයි සිතමු.ඇත්තෙන්ම දෘෂ්ටි කෝණය (The point of View)යනු ලේඛකයා කතාව පාටකයා හමුවට ගෙන එන්නේ කා ලවා දැයි යන්න වේ.මහාචාර්ය විමල් දිසානායකයන්ට අනුව එය "සිය අත්දැකීම් නිරුපණය කිරීම පිණිස රචකයා විසින් තොර ගනු ලැබ ඇති මාර්ගය"වේ.
කෙටිකතාවක භාෂාව පරිහරණයද වැදගත් තැනක ගනී.රචකයා තම අත්දැකීම් කියවන්නාට තේරුම ගැනීමට නම් විධිමත් භාෂාවක් යොදාගත යුතුය.එහිදී ව්‍යාකරණ මැනවින් රැකීම පමණක් නොව එහි භාවාත්මක බව ගැනද සැලකිලිමත් විය යුතුය.කතාව තුල ඇති ජීව ගුණය පවත්වාගෙන යාමට හා පරිශීලකයාට එය ඒත්තු ගැන්වීමට ඒ ඒ චරිතයට අනුව බස හැසිර වීම,හාස්‍ය රසය,උත්ප්‍රාසය දනවන උපමා රුපකාර්ථ යොදමින් කතාකරණය කල යුතුය.
කෙටිකතාව කියවා හමාර කර මෙම කරුණු ගැනද අවධානය යොමු කිරීමෙන් එම කෙටි කතාව පිළිබඳ අපට හොඳ අදහසක් ලබා ගත හැකිය.තවත් ලිපියකින් හමුවෙමු............
(ලිපිය පිලිබඳ ඔබේ අදහස් ලබා දෙන්නේ නම් ස්තුතිවන්ත වෙමි. )
Subscribe to:
Posts (Atom)