Wednesday, July 6, 2011

අඩ සඳ හා අටවක ලදිමි................


අත්තම්මාගෙන් ඇසු රසකතා තුලින් මේ කියන්න සුදානම් වෙන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ කුමාර අවධියෙන් සිදුවුන අප්‍රකට රසවත් සිදුවීම් ටිකකි.සියල්ලටම කළින් කවුද මේ තොටගමුවේ රාහුල හාමුදුරුවෝ කියන්නේ කියල දැනගෙන හිටියොත් හොඳයි නේද?

තොටගමුවේ රාහුල හාමුදුරුවෝ කියන්නේ කෝට්ටේ යුගයේ ලංකාවේ වැඩවාසය කල අතිදක්ෂ යතිවරයාණන් වහන්සේනමක් වන බව අප කවුරුත් දන්නා කරුණකි.උන්වහන්සේ ගිහි කල හැඳින්වුයේ දෙමටානේ ජයබාහු කුමාරයා නමින්ය.වික්‍රමබාහු ඇපාණෝගේත් කීරවැල්ලේ බිසවගේත් එකම පුතුය.කුමාරයා කුමාර සංධියේ පටන්ම ඉගෙනුමට ලැදි විය.වයස 10-12 වෙනකොටම අභිධර්ම පිටකයේ අඩක්ද,සියබස්ලකර,කාව්‍යා දර්ශකය මුළුමනින්ම ද කටපාඩම් විය.නගන තර්ක විතර්කවල ද කෙළවරක් නොමැත.මුන්වහන්සේගේ කේන්ද්‍රය ද ප්‍රබල විය.එහි මහණ වුවත් රජකම් කරන බව සඳහන් වුවාලු.පසුව එය සත්‍ය විය.ඒ පිළිබඳව ද රසකතා අහුරකි :ඩී. අපි පසුව හිමින් සීරුවේ ඒවා රසවිඳිමු :ඩී.කුඩාකලම කීරවැල්ලේ බිසව මියයැමෙන් ද වික්‍රමබාහු ඇපාණෝ කලකිරී මහණ වීමෙන්ද තනි වූ දෙමටානේ කුමරු vi පරාක්‍රමබාහු රජුගේ පුත් තනතුරෙහිලා වැඩෙන්නට විය.කීරවැල්ලේ කුමරිය රජ බිසවගේ අක්කණ්ඩිය වීමද රජුට ගැහැණු දරුවන් පමණක් සිටීමද මෙයට තවත් හේතුවක් විය.දැන් දෙමටානේ කුමාරයා ගැන ඇති පදම් දැනගත්ත බැවින් අපි කතාවට හැරෙමු.

එදා පොහෝ දිනකි.රාජකීයයන්ගේ සිරිත පෝ දිනට උදෙන්ම දළදා සමිඳු වැඳ පුදා ගැනීමයි.එදිනත් සුපුරුදු පරිදි රජවාසල ඇත්තෝ දළදා සමිඳු වැඳ පුදා එන අතරමග දෙමටානේ කුමාරයා සුළු මවගෙන් අවසර ගෙන තමන් පෙ‍ර දා හදාළ පොතක ඉතිරිය කියවීමට විදාගම මෛත්‍රී හිමියන්ගේ ආරාමයේ රැඳුනි.

බැහැර පන්සලක ඇබිත්ත කොලුවෙක් විදාගම හාමුදුරුවන්ට දාන උපකරණ භාර දීමට පැමිණෙන්නේ ඔය අතරදීය :).හිමියන් නැති බව දැන ,ගෙන ආ දේවල් කනප්පුව මත තබා පුස්කොළ කැබැල්ලක් කුමාරයා අත තැබීය.එහි ලියා තිබුණේ......

"පුරසඳ සහ දසවක එවමි ,
පිළිගනු මැනවි. " යනුවෙනි.

ඇබිත්ත කොලුවාට මදක් රැඳෙන්නට උපදෙස් දී කුමාරයා ගෙනා දේවල් පිරික්සන්නට විය.කෙසෙල් ගෙඩි 8ක ඇවරියකුත් මී කිරි හට්ටියකින් අඩකුත් එහි විය.මදක් කල්පනා කොට කුමරු මදහසක් පා වීදාගම නා හිමියන් වැඩමකරන තෙක් නොසිට කොලුවාට පුස්කොළ කැබැල්ලක යමක් ලියා දී ඇබිත්ත කොලුවා පිටත්කර තමන් මාලිගාවට ගියේය.එහි ලියා තිබුණේ,

"අඩ සඳ හා අටවක ලැබිණි ,
පින් දෙමින් භාර ගතිමි." යනුවෙනි.

එදින හවස් වරුවේ වීදාගම හිමියන් විවේක සුවයෙන් පසුවෙද්දී උන්වහන්සේ වෙත අඬා ගෙනා වැඳ වැටෙමින් පැමිණෙන කොලුවෙකි.විදාගම හිමියන්ට ගෙනා ආ කිරිහට්ටියකින් භාගයකුත් කෙසෙල් ගෙඩි 10න් 2කුත් මගදී හොරා කෑමට සමාවදෙන මෙන් මරලතෝනි ගසමින් අඬයි.වීදාගම හිමියන්ට මෙය මහත් ප්‍රේහෙලිකාවකි .
"තෝ මගදී හොරා කෑ බව ලොකු හාමුදුරුවෝ දන්නේ කොහොමද ?" හිමි ඇසුවේ ය.

"මම මේවා ගෙනෙද්දී මෙතන හිටි කුමාරයට ඔන්න ඔය කනප්පුව උඩ තියන ලොකු හාමුදුරුවෝ දුන්න පුස්කොළ කැබැල්ල දුන්න.එක කියවල කුමාරයා මට මෙන්න මේ පුස්කොළ කැබැල්ල දුන්න ලොකු හා මුදුරුවන්ට දෙන්න කියල.මම එක ගෙනිහින් ලොකු හාමුදුරුවන්ට දුන්න.ඔන්න ඔච්චරයි හාමුදුරුවනේ සිද්ද උනේ.එක දැකපු ලොකු හාමුදුරුවෝ මට නොසහෙන්න තලලා ගිහින් වීදාගම හාමුදුරුවන්ගෙන් සමාව ඉල්ලගෙන වර කිව්වා."යනුවෙන් ඇබිත්තයා පැවසුවේ ය.

පුස්කොළ දෙකම ගෙන බැලු වීදාගම හිමියන්ට කාරණය වැටහී මුවට සිනහවක් නැගිණි.කුමරුගේ තැනට සුදුසු නුවණ හා බුද්ධි මහිමය ගැන උන්වහන්සේ සතුටට පත්විය.(පුස්කොළ 2හි තිබ්බ දේ ඔයගොල්ලොන්ටත් වැටහෙන්න ඇතැයි සිතමි ;) :ඩී .)

අපි කවුරුත් පොඩි කාලේ අහපු කවියක් තමයි මේ,

" මා වැනි බිළින් දා
වර වර ළඟට කැන් දා
දුක් සැප කුමන් දා
අසන නිරීඳෝ වෙන කොයින් දා ?"

මේක කිව්වේ කවුද කියල දන්නව ද ?ඒක කිව්වෙත් දෙමටානේ කුමාරයම තමයි.ජයබාහු කුමාරයා ළදරු වියේ සිටියදී දෙමටානට ගිය පරාක්‍රමබාහු රජතුමා කීරවැල්ලේ කුමරිය හමුවී අසල සිටි කුමාරයාගෙන් ද සුවදුක් විමසා ඇත.කුමාරයාගේ පිළිතුර වූ කදිම සිව්පදය තමයි ඒ.....:ඩී

ජයබාහු කුමාරයා ගැන තවත් රසකතා ගොන්නකි.ඒවා රස විඳින්න ඉදිරි ලිපියකින් හමුවෙමු.


(කතාව ගැන ඔබේ අදහස් පහතින් සටහන් කරන්නේ නම් ස්තුතිවන්ත වෙමි.)

8 comments:

  1. කලින් අහලා නම් නෑ. ලස්සන කතාවක්. කිරි හට්ටියෙන් බාගෙකට අඩුවෙන් කාලා තිබුනානම් කොහොමද කියන්නෙ? තවත් ලස්සන කතාවක් ලඟදිම දාන්න.

    ReplyDelete
  2. Ada bhashawa hondai..Meeta kalin kauru hari kiwwa wage matakai :) Kathawa eda mata kiyapu widiyatama tiyenawa. Me katha series eka yana athare wena wena lipith liyanna...

    ReplyDelete
  3. ඇත්තෙන්ම ඉතා වටිනා ලිපියක්...... මේ කරුණු සම්බන්ද මගේ ඉතිහාස දැනුම ඉතාමත් අල්පයි..... මේ සියලු කතා අද වෙනකන් මම දැනගෙන හිටියේ නැ..... මට හිතෙන්නේ රටට, ජාතියට, පරිසරයට ආදරය කරන අනාගත පරපුරක් බිහිවෙන්න නම් ඔවුන් මේවා කුඩා කාලයේ අහන්න ඕන.... හරියට රුසියාවේ ළමයින්ට රුසියානු සුරඟන කතා වගේ.... එක පොඩි කාලේ නොදැනුනාට පසුව අපේ ජීවිත වල ආකෘතියට එය විශාල බලපෑමක් එල්ල කරනවා කියල මට හිතෙනවා වගේම මනෝ විද්‍යාඥයින් ප්‍රකාශ කරනවා.... ඉතින් රුසියාවට සුරන්ගනා කතා වගේ අපිට තියෙන්නේ බෝසත්(ජාතක) කතා සහ මෙවැනි කතා.... මටත්, සීයාගෙන් ජාතක කතා අහපු සුන්දර අතීතයක් තිබුන..... එක මම අදත් ආදරයෙන් සහ ගෞරවයෙන් කෘතගුණ පූර්වකව සිහිපත් කරනවා..... කොහොම උනත් මේවා අනාගත් පරපුරට දායක කරන්න ඉස්සෙල්ල අපි දැනගෙන ඉන්න ඕනනේ....hehe එක නිසා මේක අපිට ගොඩක් ප්‍රයෝජනවත්..... මනියගේ මේ දැනුම අපිත් එක්ක බෙදා හදා ගන්නවට ගොඩක් පින් සහ ගොඩාක් ස්තුතියි.... තවත් ගොඩක් කතා රසවිඳින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.... (කොහොම හරි මේවා ටික save කරලා වත් තියාගන්න ඕන.... අනාගතයේදී ඕන වෙයිනේ.... හි.. හි.... )

    ReplyDelete
  4. Meeta kalin ahala tibune nam na....eth,eka hari lassana kathawak..kiyawagena yaddi eththatama denune,punchi kale achchi amma apiwa laga tiyan kathawak kiyanawa wage hegiimak... e kale kawruhari katha kiyaddi asawen e diha kata eran ahan hitiya wagema asawen me katha kiyewwa...THAWA LIYANNA MANIDU... asawen ,rasa kara kara kiyawanna maga balan innawa...

    ReplyDelete
  5. Meeta kalin ahala tibune nam na....eth,eka hari lassana kathawak..kiyawagena yaddi eththatama denune,punchi kale achchi amma apiwa laga tiyan kathawak kiyanawa wage hegiimak... e kale kawruhari katha kiyaddi asawen e diha kata eran ahan hitiya wagema asawen me katha kiyewwa...THAWA LIYANNA MANIDU... asawen ,rasa kara kara kiyawanna maga balan innawa...

    ReplyDelete
  6. @හංසි,නිශ්ශංක,කෞෂාන්,පබා:-බොහෝම ස්තුතියි ඔබලාගේ අදහස් වලට......ඉදිරියටත් ලිවීමට එය ලොකු ගැම්මකි...:ඩී

    ReplyDelete
  7. හරිම ලස්සනයි කතාව.. මාත් අහල තියනවා හාමුදුරුවන්ගේ රස කතා කීපයක්ම
    බොහොම ස්තූතියි මේ රස කතා කිව්වාට...

    ReplyDelete
  8. මේ කතාව මම කලින් අහලා තිබුනත් මේ ලිපිය ගොඩක් රස වින්දා... හරිම සතු‍ටුයි ජන සාහිත්‍යය ගැන ලියන කෙනෙක් හමුවීම ගැන. ජය වේවා!

    ReplyDelete