Sunday, July 3, 2011

ජන සාහිත්‍යයේ අප නොදුටු ඇතුළාන්තය..................


ලාංකික අපට නම් ජන සාහිත්‍යය,ජන කතාව පුංචි සංධියේ පටන්ම සමීප වන්නකි.අත්තම්මාගේ උකුළේ ඉඳගෙන තාලෙට පැද්දෙමින් "අන්දරේ සීනි කෑ හැටි,වැල කෑ පබිලා,දුටුගැමුණු කුමාරයා යුද්ධ කල හැටි,ගෝඨයිම්බර මහසෝන් සටන,නීල මහා යෝධයා වැලි මිරිකා වතුර ගත් හැටි" යනාදී කතා ඇසු හැටි තාමත් මතකය.ඒ අප කුඩා කාලයේ සිටම ජනකතාවේ මිහිර විඳි අයුරු ය.වීරයන්ගෙන්ද,දුෂ්ටයන්ගෙන්ද,ශාන්තුවරයන්ගෙන්ද විටින් විට පොහොසත් වූ ජන සාහිත්‍යය සමාජයට සදුපදේශ ලබා දෙන ප්‍රධාන මාධ්‍යයක් විය.මෙම ජනකතා ඉදිරි පරම්පරවන් සඳහා දායාද කිරීමෙහිලා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලද්දේ පවුල් වල සිටින වයසින් මුහුකුරා ගොස් සිටි සාමාජිකයන් වන අත්තම්මා සහ සියා ය.බහුතරයක් ජනකතා හුදු අතිශයෝක්තියක් ම පමණකැයි සිතා බොහෝ පිරිස් ඒවා අවඥාවෙන් බැහැර කරන ලදී.එහෙත් කුඩා අපට නම් ඒවා වින්දනීය ලෝකම විය.එළාර දුටුගැමුණු සටන,උන්මාද චිත්‍රාවන්ගේ රුපශ්‍රියේ විභූතිය සිත්හි මැවෙන්නට විය.සිගිරිය වූ කලී දැන් නටබුන් ගොඩක් පමණක් වුවද කුඩා කල මට එය සව්සිරියෙන් සපිරි රාජධානියක් විය.රජ මාලිගයේ මහේශාක්‍ය බව,සිංහ සෝපානයේ ඔබමොබ මනැසින් දිව ගිය අයුරු,කුට මස්තකයෙහි පොකුණුවලින් මනැසින් දියබුං ගසා නාපු හැටි ,රාවණා රජුගේ දඬුමොනරෙන් රවුමක් ගියපු හැටි ජනකතාව පුංචි අපට කොතරම් සමීප වුවාදැයි මොනවට පැහැදිලි කරත්ද?එය එතරම්ම රසවාහිනියක් විය.අපේකම,අපේ උරුමය සහ සදෙව්ලොව අපාය පිළිබඳ හැඟීම් කුඩාකල සිටම අප පවින් වලකා ජාතිමාමක අදහස්වලින් පෝෂණය කරන්නට විය.වර්තමානයේ සිට එකළ දෙස හැරී බලනා විට අපේ ජිවිත ජනකතා කරුවා විසින් නොදැනෙන සත්‍යයකට ඉබේටම තල්ලු කොට ඇති බවක් හැඟී යයි.එය එතරම්ම ප්‍රබල මාධ්‍යයක් විය.

මා දන්නා පරිදි ලොව විශාලතම සුරංගනා කතා සාහිත්‍යය ඇත්තේ රුසියාවේ ය.ලස්සන වසිලිස්සා ,බබායිගා යකින්න,ඉවාන් කුමාරයා ලාංකික අපටද සමීප ය.මේ මහා සුරංගනා කතා සම්ප්‍රදාය තුල ඔවුන් කරන ලද්දේ රුසියන් ළදරුවා කුඩා කල පටන්ම අරුම පුදුම දේ කරන,පියාඹන තනියම සත්සමුදුරු තරණය කරන මිනිස්සු ,අරුම පුදුම යන්ත්‍රසුත්‍ර වෙත සමීප කරවීමයි.මේ පිළිබඳව සිතන්නන නැඹුරු කරවීමයි.මේ තුලින් ළමයාගේ නිර්මාණශිලිත්වය,උසස් පරිකල්පන හැකියාව ඉබේම දියුණුවන්නට ඉඩහරින ලදී.එහි ප්‍රතිපලයක් ලෙස රුසියානුවෝ පසුකලෙක නව තාක්ෂණය ඇති නවීන යන්ත්‍රසුත්‍ර ලොවට දායාද කල පුරෝගාමීන් විය.අපේ ජන සාහිත්‍යයෙන්ද මේ සා විශාල සංස්කෘතික සේවයක් අප ජන සමාජයට අතීතයේ සිටම සිදුකර ඇත.පව පින වෙන්කරදී යහපත් ජිවන රටාවක් යනු කුමක්ද වෙද හෙද කම්ද කවියෙන් හා කතානුසාරයෙන් සමාජගත කර ඇත.

ජනකතා සාහිත්‍යය මුඛ පරම්පරාගතව පැමිණියද කර්තෘ අඥාත වුවද එය ලිඛිත සාහිත්‍ය සම්ප්‍රදායක් තරමටම එය ප්‍රබල වන්නේ ය."මිනිස් සිතෙහි ස්වරුපය නිරුපණය කිරීමෙහිදී ජනකතාව තරම් ප්‍රබල සාහිත්‍ය මාධ්‍යයක් මෙතෙක් ලොව පහළව නැත " යන්න ජන‌‍ශ්‍රැති විශේෂඥයින්ගේ අදහස ය.මානුෂ පැවැත්මේ සංකීර්ණත්වය පිළිබඳ එහි ව්‍යංගයත් ,ප්‍රකාශන විලාසයත් සාහිත්‍යය නිර්මාණ කෙරෙහි අභාසය සපයන්නක් බව ස්ටිත් තොම්සන් පෙන්වා දෙයි.විද්‍යා තාක්ෂණික මාධ්‍යයන් මගින් මිනිස් ජිවිත කෙරෙහි සිදුකර ඇතිබලපෑම් කොතරම් විචිත්‍ර ද එතරම් විචිත්‍රත්වයක් හා ගැඹුරක් ලෝක සමාජ විෂයෙහි ජනකතාව සිදුකර ඇතැයි යන්න පිළිගත් මතයකි.

ලෝකයේ සෑම රටකටම තම රටට අනන්‍ය වූ ජනකතා සම්ප්‍රදායක් ඇත.බුරුම ජනකතා,සියම් ජනකතා,චීන,ඉන්දියානු හා මොන්ගෝලියානු වශයෙන් අප ද ඒවා රස විඳ ඇත.ජන කතා ,ජන සංගීතය,ජනකවි,ජන නාට්‍ය ආදිය මෙන්ම ජන‌‍ශ්‍රැති ගණයෙහිලා සැලකෙන විවිධ යාතු කර්ම ඇදහිලි විශ්වාස ආදියද ජන සාහිත්‍යයෙන් අප ලද උරුමය වේ.ඒවා එලෙසම අනුකරණය අනපේක්ෂිත අතර ඒ තුළින් හෙළි කරන පුරුෂාර්ථ හා සාරධර්ම අපට වැදගත් වේ.

ඓතිහාසික වෘත්තාන්ත ජන‌‍ශ්‍රැති අතර කැපිපෙනෙන භූමිකාවකි.වසර දෙදහස් පන්සියයකට නොඅඩු ලිඛිත ඉතිහාසයක් මහාවංශය තුළින් අපට දායාද වී ඇත.නමුත් මෙම ජන‌‍ශ්‍රැති තුළින් ඊටත් එහා ගිය ඉතිහාසයක සුන්බුන් අපහට ගෙනහැර දක්වයි.මනු රාජවංශය,හෙළ අසුර රාජවංශය ගැන පවතින ජනකතා ඊට උදාහරණ සපයයි.එපමණක් නොව මහාවංශය තුල නොමැති එහෙත් ඉතා වැදගත් ඓතිහාසික සිද්ධි ආශ්‍රිත තොරතුරු බොහොමයක් කාලයේ වැලිතලාවට නොයට වී තවමත් ශේෂව ජනකතා තුල පවතී.බ්‍රිතාන්‍ය යුගයේදී අපගේ ඉතිහාසය නැවත ලිවීමේදී (1912 දී පමණ කොඩ්රින්ටන් ,බෙල්)ජනකතා තුල වූ ඓතිහාසික තොරතුරු ඉවතලන ලද්දේ ඒවායේ පිළිගත හැකි මට්ටමේ සාක්ෂ්‍යමය වැදගත් කමක් නැතැයි කියමිනි.එහෙයින් අප වර්තමානයේ ඉගෙන ගනු ලබන්නේ පෙරා දෙනු ලැබූ ඉතිහාසයක් පමණි.එහෙයින් ලිඛිත ඉතිහාසයෙන් නොකියවෙන බොහෝ සත්‍ය ඓතිහාසික සිදුවීම් අපෙන් දුරස් වන්නට විය.එය අපගේ ආකල්පමය වෙනසක් ඇතිවීමටද වක්‍රව බලපාන ලදී.ඒ සඳහා පුංචි උදාහරණයක්‌ ගෙනහැර දැක්වීමට කැමැත්තෙමි.ඔබෙන් හෝ වත්මන් පාසැල් සිසුවෙක්ගෙන් "දුටුගැමුණු රජතුමා සහ කාවන්තිස්ස රජතුමා යන දෙදෙනාගෙන් කවුද වඩා වීරයා ?"
කියා ඇසුවිට දෙන පිළිතුර කුමක්ද?එය නිසැකවම දුටුගැමුණු රජතුමා වේ.නමුත් මෙම ප්‍රශ්නයම 1960-1970 වැනි කාලයේ අම්පාර,පානම,අනුරාධපුරය වැනි ගම්බද ප්‍රදේශයක ජිවත් වූ ගොවියෙක්ගෙන් ඇසු විට ඔහු දෙන පිළිතුරෙන් ඔබ පුදුමයට පත්වනු ඇත.ඔහු කියනුයේ කාවන්තිස්ස රජු කියාය.මේ පිළිතුරු 2හි වෙනසට හේතුව ඔහු අපට වඩා ජන කතාවෙන් පෝෂණය වුවෙක් වීමයි.අප පාසැල් අධ්‍යපනයෙන් ඉගෙනගනු ලබන්නේ සීමිත ලිඛිත ඉතිහාසයකි.අද පරපුරට ජන‌‍ශ්‍රැති සම්බන්ධ දැනුම අල්පය.ජනකතා සාහිත්‍යය තුළින් ඉස්මතුවන කාවන්තිස්ස රජුගේ දුර දක්නා නුවණ ,අප්‍රතිහත ධෛර්යය ,සැලසුම් සහගත බව ,ආදරය ,සෙනෙහස ,කරුණාව ,ඉවසීම වැනි ගුණාංග බොහොමයකි.හෙතෙම තම පුතුට යුද්ධ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරනලද්දේ පුතු ඉපදීමටත් ප්‍රථම සිටය.කෙත්වතු අස්වද්දවා අටුකොටු පුරවා ,අවි ආයුධ කම්හල් පිහිටුවා,ඉලංගම් මඩු අලුතින් අරඹා ,දක්ෂ ශක්තිමත් තරුණයන් සේනාවන්ට බඳවා ගනිමින් සේනා සංවිධානය කරමින් පෙරසිට ම තම පුත් ගැමුණු කුමාරයට එළාරට එරෙහිව යුද්ධ කිරීමට අවශ්‍ය වපසරිය ක්‍රමානුකුලව දුරදිග බලා දීර්ඝ කාලයක සිටම සැලසුම් කරන ලද්දේ ය.ගැමුණු කුමරු නිසි වයසට එත්ම යුද්ධයට සියල්ල සුදානම්ය.මෙසේ බලනා විට ඇත්තෙන්ම කාවන්තිස්ස පියරජු කෙතරම් වීරයෙක්ද යන්න මොනවට පැහැදිලි කරයි.මෙවැනි බොහෝ කරුණු අප අතරින් වියැකෙමින් පවතී.මේ එක උදාහරණයක්‌ පමණි.

මහාවංශය ,දීපවංශය,ථුපවංශය ,ධාතුවංශය ,රසවාහිනිය ආදී අපේ වංශකතා මෙන්ම වෙනත් ඓතිහාසික හා අර්ධ ඓතිහාසිකකෘතිවල වුවද ජනකතාවේ බිජ අවස්ථා දැකිය හැකිය.මේසා වටිනා ජන කතා සාහිත්‍යය පිළිබඳ අප මදක් හෝ දැනුවත්ව සිටීම එම සාහිත්‍යයේ පැවැත්මට පොඩි හෝ තල්ලුවක් විය හැකි ය.

අත්තම්මාගෙන් ඇසු රස කතා තුළින් ඉදිරි ලිපියකින් හමුවෙමු.....................

(ලිපිය සම්බන්ද ඔබේ අදහස් පහතින් සටහන් කරන්නේ නම් ස්තුතිවන්ත වෙමි.)

9 comments:

  1. ආයෙමත් පුංචි කාලෙට ගියා වගේ දැනුණා මට නම්... අපිව මේ ඉන්න තත්වෙට ගේන්න, අපේ චින්තනය වර්ධනය කරන්න අපේ සීයල ආච්චිලත් පුදුම දායකත්වයක් දීල තියෙනව කියල තේරෙන්නෙ දැන් තමයි...
    ඇත්තටම මම මේ ලිපිය හඳුන්වන්නෙ යුගයට ගැලපෙන, කාලීන ලිපියක් විදියටයි. අපි මේ දේවල් ගැන මෙහෙමවත් කතා නොකළොත් අපේ පොඩි එවුන්ටත් ළමා කාලයක් නැති වෙයි කියලයි මට හිතෙන්නෙ.
    ඒ වගේම මම හිතනව අපට මේ දේවල් රැකගන්න කළ හැකි දේවල් ගැනත් අපි කතා කරන්න ඕන...
    ඉදිරියටත් මේ දේවල් ගැන ලියන්න මල්ලි. ඔබට ජය...!

    ReplyDelete
  2. නියමයි මනී... ඔහොම යමු..

    ReplyDelete
  3. කතා ටිකක් අහන්න ලැබෙනවා නම් කොච්චර හොඳද.. පොඩි කාලෙදිවත් කතන්දර අහලා නම් නෑ පොත් වලින් කියෙවුවා මිසක්. මාත් ආසයි ජන කතා අහන්න. මම හිතන්නෙ නම් ජන කතා තරම් රසවත් ආදර්ශවත් කතා කොතනකවත් නැතුව ඇති.

    ReplyDelete
  4. mama nam thawamath asai kathandara ahanna...jana katha pothak labunoth aniwaryenma kiyawanawa....ewaye amuthuma rasayak thiyenawa..digatama lipi danna aiya..

    ReplyDelete
  5. Kiyawagena yaddi mathak une... chuuti kale.. amma,achchi amma...ehemath nethnm thawath wedihiti kenekgen kathawal ahaddiii issara api mona mona widiye chiththa ruuupa mawan,ewain mona taram windanayak lebuwada kiyala...e mawa geneem ethule mona tharam rasayak thibunada....e rasaya yali manase awadi karannata taram oba athin liyewunu me wadan...thawath boho denage mathaka poth wala agulu bidalamin peraliyak karannata..thawath neth yuga dasa dahasak idiriye diga herennata pathami...

    ReplyDelete
  6. ඉතිහාසය යන මාතෘකාව ගැන කතා කරනවිට මට නිතර සිහිවන සිදුවීමක් වෙයි...
    අප එකල ඉගැනිමින් සිටියේ 9 වන ශ්‍රේණියේය.පන්තියේ එක්තරා සිසුවන් දෙදෙනෙකු පන්තියේ එක මුල්ලක උණුසුම් මතහුවමාරුවක යෙදෙනු දැක මමත් ඒ සංවාදයට සවන් දුනෙමි.නමුත් දෙදෙනාම සිටියේ එක මතයකය.ඉතිහාසය සාහිත්‍යය ඉගන ගන්නේ කුමටද යන්න ඔවුන්ගේ මාතෘකාව වී තිබුණි.ගණිතය විද්‍යාව ඉංග්‍රීසි වැනි විෂයන් ඉගැනීමෙන් උසස් රැකියාවක් කල හැකිබවත් එවැනි විෂයන් ඉගැනීමට ගතවන කාලය අපතේ යවමින් වැඩකට නැති විෂයන් ඉගැනීම අපරාදයක් බව ඔවුන් තර්ක කළහ...කෙසේ හෝ මෙම සංවාදය දුරදිග ගොස් සමාජ අධ්‍යයනය (නම් වූ අච්චාරු විෂය )ඉගැන්වන ගුරුතුමියගෙන් මෙම ගැටලුව අසන්නට තීරණය විය.
    ඊලග දිනයේ පාඩමට පැමිණි ගුරුතුමිය ඉගැන්වීමට කලින් ඉතිහාසය කුමටද යන ප්‍රශ්ණය පන්තිකාමරයෙන් විමසුනි...
    මේ ප්‍රශ්නය අසා ගුරුතුමිය බලවත් කම්පාවට පත්වූ අයුරු ඇගේ මුහුණෙන් ප්‍රකාශ වූ අයුරු මට අදත් මතකය.
    "පුතේ ගහක උනත් හැදෙන්න ඕනෑ මුල් ඇතුව.මුල් නැති ගහකින් වැඩක් නෑ...ඉහලට යන්න බෑ,ගියත් වැඩක් නෑ ...
    අනිත් විෂයන් වලින් කරන්නේ රටට වැඩක් ඇති මිනිහෙක් හදන එක...ඉතිහාසෙන් කරන්නේ රටට හිත ඇති මිනිහෙක් හදන එක.ඒ දෙකම තියෙන මිනිස්සු විතරයි රටක් දියුණු කරන්නේ..."

    එදා උගත් ඉතිහාසය ඉගෙනගත් මට මෙම පැහැදිලිකිරීම ලගක් වෙනකන් තේරුනේ නැත.නමුත් අප සමාජයේ සිටින ඇතැම් මිනිසුන්ගේ ක්‍රියාකලාප ගැන මගෙන්ම ප්‍රශ්න කරනවිට මේ සිදුවීම මට ප්‍රමාණවත් පිළිතුරක් ලබාදුණි.

    ප:ලි
    සෝදාපාලුවට ලක් වුවත් අප ඉතිහාසය උගතිමු.ඒ ඉතිහාසය හරිම රසවත්ය.ඒ අතරේ අපේ රටේ ප්‍රෞඩ ජාතික වීරයන් අපට හමු වුයේ නැත.මහා ඉංජිනේරු සම්ප්‍රදායින්ගේ තේජස අපිට ආරෝපණය වුයේ නැත.විජයාවතරණයට පෙර පසු ශ්‍රී ලාංකික අභිමානය අප දන්නේ නැත.දඩුමොනර ,ගැමුණුයුග ගැන අපට ආඩම්බර නැත.ආගමික හැදියාවෙන් කලාත්මක හැකියාවෙන් අනුන වූ අපේ ජනමනස අපට අවශෝෂණය වුයේ නැත.පරිසරය සමග සහසම්බන්ධතා තිබුණු අපේ ජීවන රටාව අධිරාජ්‍යයට යටවුනු අපේ ආධ්‍යාත්මය ගැන අප කම්පා උනේ නැත.නමුත් ඉතිහාසය උගත්තේදැයි ඇසුවොත් අද අප 'ඔවු ,අපි ඉතිහාසය උගත්තෙමු ' යැයි පිළිතුරු දෙමු.ඉතිහාසය ලෙස ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිදුවූ ප්‍රතිසස්කරන ගැන උගත්තෙමු.ඉංග්‍රීසි පාලනය තුල මෙරට ඇති වූ බෝග වගාව ගැන උදම්ඇනුවෙමු.ලංකාවට තේ හදුන්වාදුන් ජේම්ස් ටේලර් ගැන ආඩම්බර උනෙමු.උඩරට පාවාදුන් අපේ රජවරු ගැන ලජ්ජා උනෙමු.
    ...එලෙස ඉතිහාසය ලෙස අප ගැතිකම උගත්තෙමු.මෙය මෙසේ ලිව්වද ඒ ගැතිකම මගේ ලේ තුලද දුවයි.කොට ඉතිහාසයන් ඇති ඇමරිකාව,ඔස්ට්‍රේලියාව වැනි රටවල් ඔවුන්ගේ ඉතිහාසය තුලින් ප්‍රෞඩත්වය කවද්දී ,මහා සම්ප්‍රදායක් තිබු අප ගැතිකම ඉතිහාසය තුලින් ලේ වලට උනා ගත්තෙමු.අපි අපේ ප්‍රෞඩ සැබෑ ඉතිහාසයට පයින් ගැසුවෙමු. කෙසේ හෝ අප ඉතිහාසය කියා දෙයක් උගත්තෙමු ....ඒ ඉගැනීම නිසා අද 'ඉතිහාසය කන්නද ' ලෙස අප ප්‍රශ්න කරමු !

    ReplyDelete
  7. මේක කියවද්දි මගේ ඇස්වලට කඳුළුත් ආව.

    ReplyDelete